රදළ සෙනෙවියෙකු පරදා මරනින් පසු දෙවියෙක් වූ මැණික් බණ්ඩාර

110

මැණික් බණ්ඩාර දෙවියන් පිළිබඳව ජනවහරේ පවතින උපත් කතා කීපයකි. එක් උපත් කතාවකට අනුව මෙම දෙවිඳුන් වීදාගම පෙදෙසේ විසූ දක්‍ෂ රණවිරුවෙකි. රයිගම් කෝරළයේ රයිගම අසල වීදාගම වාසය කළ රදළ සෙනෙවියෙකු සමග යුදකොට ඔහු පරාජයට පත්කළ මෙම කුමරු මරණින් මතු මැණික් බණ්ඩාර නමින් දේවත්වයට පත්වූ බව පැවසේ. සම්මුති දෙවි, උප්පත්ති දෙවි, විසුද්ධි දෙවි යනුවෙන් දෙවිවරු තුන් කොට්ඨාසයකි.

රජවරුන් බිසෝවරුන් රාජ කුමාරයන් සම්මුති දෙවියන් ලෙස ගැනේ. සත්වයන් උප්පත්තිය ලබන ගති අතුරෙන් දෙවියන්ව ඉපදීම ද එක් ගතියක් බව දීඝනිකාය වැනි පොත්වල සඳහන්වේ. “බුදුසමය සහ දෙවියෝ” රාජකීය පණ්ඩිත ශාෂ්ත්‍රවේදී නිවන්දම ශ්‍රී ධම්ම කිත්ති හිමි, මැණික් බණ්ඩාර කුමරුන් මරණින් මතු මැණික් බණ්ඩාර දෙවියන් ලෙස ඉපිද වීදාගම ගලේ වැඩ වාසය කරන බව ජන විශ්වාසයේ පවතී. මැණික් ඔබ්බන ලද මැණික් පුටුවක හිඳ මැණික්වලින් සැකසුණු වේවැලක් ද අතැතිව වැඩ වාසය කරන බව පැවසේ.

මැණික් බැඳපු පුටුවේ වැඩ ඉන්නේ
මැණික් බැඳපු ජය වේවැල ගන්නේ
මැණික් රජාගේ පිහිට ලබන්නේ
තෙදැති මැණික් බණ්ඩාර වඩින්නේ

මැණික් බණ්ඩාර දෙවියන් පිළිබඳව එන එක් උපත් කතාවකට අනුව මෙතුමන් ජන ප්‍රධානියෙකුව සිටි බව ද පැවසේ. මේ දෙවියන්ගේ දේවාලයක් ගොරඬිය කුඹුරේ ද කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ද පවතී. බදුල්ලේ ළිඳමුල්ලේ පත්තිනි දේවාලයේ මෙම දෙවියන්ගේ රූපයක් ඇඳ තිබෙන බව සිංහල දේවපුරාණයේ සඳහන්වේ.

දොළහ දෙවියන් යනුවෙන් ප්‍රචලිත දෙවිවරු දොළොස්දෙනා අතර මැණික්

බණ්ඩාර දෙවියන්ගේ නම මුලට යෙදේ. මැණික් බණ්ඩාර, මාවතේ දෙවි, කොස්ගම දෙවි, පරකාස දෙවි, කළු බණ්ඩාර, කුමාර බණ්ඩාර, ඉදිරිල්ලේ කුමාර, රත්ඇල්තොට කුමාර, වන්නි බණ්ඩාර, වීරමුණ්ඩ, බෝවල දෙවි, කහටපිටියේ දෙවි, යනුවෙනි. දහසය වැනි සියවසේ ක්‍රිස්තු ආගම මෙරට පැතිර යෑමට පෙර මෙරට සියලු ම සිංහලයෝ බෞද්ධයෝ වූහ. විශේෂයෙන් බෞද්ධයෝ විශ්වාස කරන නැවත ඉපදීම හෙවත් පුනරුත්පත්තිය

පිංරැස්කොට යහපත්ව සිට මියගිය අය දේවත්වයට පත්වෙන බව බෞද්ධ විශ්වාසයයි. ආදිවාසීන් අතර නෑයකුන් පිදීමේ චාරිත්‍රය අනුව බණ්ඩාර දේව විශ්වාසය පැවැත එන බවද පැවසේ. මෙම දෙවිවරුන්ගේ උපත ඈත අතීතයේ නෑය යකුන් පිදීමෙන් ආරම්භව පසුකාලීනව විදෙසින් පැමිණි දෙවිවරුන් ද බණ්ඩාර දේව ගණයේ සැලකූ බව පෙනේ. මැණික් බණ්ඩාර දෙවියන් ද විදෙසින් පැමිණි දෙවියෙකු ලෙස ද සැලකේ.

ඌවේ වංසකතාවේ සඳහන් වන ආකාරයට ඌවේ බණ්ඩාර දෙවි හත්කට්ටුවේ හත් වැන්නා ලෙස මැණික් බණ්ඩාර දෙවියන්ගේ නම සඳහන් වේ. ඉරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර, වැදිකුමාර බණ්ඩාර, හෙවත් කළුවැදි බණ්ඩාර, අකරගම බණ්ඩාර, කීර්ති බණ්ඩාර, පිච්චමල් බණ්ඩාර, සහ මැණික් බණ්ඩාර යනුවෙනි. මැණික් බණ්ඩාර දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන් වියයුතු බව ද තවත් තැනක කොස්ගම දෙවියන් වියයුතු බවට ද මත පවතී. විභීෂණ, සමන්, උපුල්වන් දෙවිවරු මෙන් ම දැඩිමුණ්ඩ දෙවියන් ස්වදේශී ජන්මයක් ඇති දෙවිකෙනෙකුන් ලෙස බැතිමත්හු විශ්වාස කරති. යක්‍ෂ, නාග ගෝත්‍රික සම්මිශ්ශ්‍රණයෙන් රාවණා රජු කළ උපන් දේශීය දේවාත්මයක් ලෙස සලකන දැඩිමුණ්ඩ දෙවියන් මහේශාඛ්‍ය දෙවි කෙනෙකි.

‘තව ද උග්ගල් අලුත් නුවරට වැඩ උක්හේනක් දැක ගල්වෙණ්ඩ වරන් දී උග්ගල් අලුත් නුවර යන නාමයකින් ද මෙලක් දිව සැට යාලක් කෙත් අස් වද්දා මෙහි යකුන් යක්‍ෂණියන්ට සෙනෙවිරත්න අධිකාරම් යන නාමයකින් ද ඇම්බැක්ක මහ දෙවොලට අධිපතිව පුද පූජා ලබා ඇම්බැක්කේ දේවතා බණ්ඩාර යන නාමයකින් ද සඳුන් කුමාර බණ්ඩාර, ඌවේ බණ්ඩාර ,මැණික් බණ්ඩාර යන නාමයෙන් ද ප්‍රසිද්ධව’ යනුවෙන් කියවෙන දැඩිමුණ්ඩ දේව කන්නලව්වට අනුව මැණික් බණ්ඩාර දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන් ලෙස අනුමාන කළ හැකි වෙතත් මැණික් බණ්ඩාර දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන් නොවන බවත් මෙතෙමේ වෙනත් ප්‍රාදේශීය දෙවිකෙනෙකු බවත් සිංහල දේවපුරාණයේ කතුවරුන් දෙපොළ සිය මතය පළකොට ඇත. මැණික් බණ්ඩාර දෙවියන් නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේ සිය අණසක පතුරවමින් වැඩ වෙසෙන බවද පැවසේ.

යකඩ කද්දඬු ගඩුළු ළුෑකැට රිදී මාළඟ යග්ග ලේ
දවුල් තම්මැට්ටමුත් හොරැණෑ දෙවේලේ අළුයම් කළේ
මැණික් සරසා කූණමක්කර වැඩ හිටින්නට එම ගලේ
මැණික් බණ්ඩර රජෝ බැරුවා සිද්ද වරුසා වැසි කළේ

මෙම දෙවියන් හග්ගලේ දේවාලයක මැණික්වලින් සකසන ලද දර්ශනීය කූණමක වැඩ සිටින බවත් පංචතූර්ය නාදයෙන් යුතුව මෙම දෙවොලේ තේවාමුර පැවැති බවත් ඉහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ. මැණික් බණ්ඩාර දෙවියන් පිළිබඳව තවත් උපත් කතාවකට අනුව මෙතෙමේ සොලී කුමාරයෙකු බවත් සිය පිය රජුට බියෙන් තැනින් තැන සැඟ වී වාසය කළ බවත් එලෙස සැඟවී සිටි කුමරා පිටියේගෙදර ප්‍රදේශයේ කුඹුරු අස්වද්දා ඉඩම් හිමියෙකු ලෙස පෙහොසත්ව සිටි බවත් මෙම පුවත සැළවුණ පිය රජුන් කුමරුන් මරණයට පත්කළ බවත් මරණින් මතු මැණික් බණ්ඩාර නමින් උපන් බවත් පැවසේ. කුමරා සැඟවී සිටි ප්‍රදේශය ඔලි ගම්පොළ යනුවෙන් හඳුන්වා ඇති බවද පැවසේ.

ඔක්කඳ මළකද දිය නාවා ලා
පස්කඳ සඳුනෙන් ගිනි මොළවා ලා
එක්කඩ කුත් ගෙන වැසුම් වසා ලා
කොස්ගම රන්කඳ දිවස් ලබා ලා (සි).දෙ).පු). 355 පිටුව.

මෙම පද්‍යයට අනුව මැණික් බණ්ඩාර දෙවියන් කොස්ගම දෙවියන් ලෙස ද හඳුන්වා ඇති බව ද පෙනේ. ප්‍රඥාලෝක හිමියන් විසින් ලියන ලද පුරාණ සිව්පද සංග්‍රහයේ ද මැණික් බණ්ඩාර දෙවියන් පිළිබඳව පවතින කවි කීපයකට අනුව මෙම දෙවියන් වැදි දෙවියෙකු ලෙස හඳුන්වා ඇත.

නා ගස නා රුක නා සෙවනැල් ලේ
බෝ ගස බෝ රුක බෝ සෙවනැල් ලේ
තුම්බෝ අත්තන අතු සෙවනැල් ලේ
මැණික් රජාගේ කඩු සෙවනැල් ලේ

මැණික් බණ්ඩාර දෙවියන් පිළිබඳව පවතින විවිධ පුරාවෘත්තයන් අනුව විශේෂයෙන් මෙම දෙවියන්ගේ අණසක හග්ගල, වීදාගම, බිංතැන්න ආදී ප්‍රදේශවල පැවතෙන බවකි. කලට වැසි වස්වා බව බෝග සශ්‍රීක කර ගැනීමට ද බෝවන ලෙඩරෝග දුරුකර ගැනීමට ද බැති මත්හු මෙම දෙවියන්ගේ පිහිට පතති.

රදළ සෙනෙවියෙකු පරදා මරනින් පසු දෙවියෙක් වූ මැණික් බණ්ඩාර

කලාභූෂණ’විශ්වාභිනන්දන’
සියැනෑගෞරවකීර්ති සාමවිනිසුරු
සරණපාල නුවරපක්‍ෂ
පූගොඩ. 077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment