ජාත්‍යන්තරයට තහනම් කලාපයක ක්‍රීඩා කිරීමේ අපලය

114

තවම අවසන් නැත. අවසන් වේ යැයි සිතන්නටවත් නොහැක. ඊයේ පෙරේදා තවත් කමිටු වාර්තාවක් එළි දුටුවේය. ඒ කමිටු වාර්තාව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලන හා මූල්‍ය ගැටලු පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ද මීට පෙර කමිටු වාර්තාවක් එළි දැක්වුණි. එම කමිටු වාර්තාවෙන් සොයා බැලුවේ අදාළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ මූල්‍ය විනය පිළිබඳවයි. එම වාර්තාව ද පාපන්දු කමිටු වාර්තාව මෙන් පංච පුද්ගල කමිටු වාර්තාවකි. රටේ ප්‍රධාන ක්‍රීඩා දෙකේ අභ්‍යන්තර, බාහිර ඇතුළු විවිධ ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව සොයා බැලීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද එම කමිටු දෙකේම ප්‍රධානත්වය දැරුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි. ක්‍රිකට් පිළිබඳ වාර්තාව 2023 ජනවාරි මස 11 වැනිදා නිකුත් කෙරුණු අතර පාපන්දු පිළිබඳ වාර්තාව පසුගිය 04 වැනිදා නිකුත් කෙරිණි.

එනම් ක්‍රිකට් වාර්තාව නිකුත් වී මාස තුනක් යෑමට පෙර පාපන්දු වාර්තාව ද නිකුත් විණි.

මුලින් නිකුත් කෙරුණු ක්‍රිකට් වාර්තාව මේ වන විට තිබෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේය. එම වාර්තාව පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම පිණිස නීතිපතිවරයා වෙත යොමු වුණු කල්හි නීතිපතිවරයා එම වාර්තාව පිළිබඳව වෝහාරික විගණනයක් කරන ලෙස විගණකාධිපතිවරයා වෙත යොමු කළේය. විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනුව තවත් දින කීපයකින් එම විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් ක්‍රිකට් පිළිබඳ නිකුත් කෙරුණු පංච පුද්ගල කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු පෙත්සමක් ගොනු කළහ. ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ස්වාධීන විගණන වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවන්නේ නැතැයි ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි මස 01 වැනිදා අභියාචනාධිකරණයේ ප්‍රතිඥා දුන්නේය.

එහෙත් පාපන්දු පිළිබඳ කමිටු වාර්තාව නිකුත් වී පැය කිහිපයක් යෑමට මත්තෙන් ඇමැතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළේය. ක්‍රීඩා පනත යටතේ තමාට පැවරී ඇති බලතල අනුව මේ තහනම පනවන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසා සිටී. ඒ අනුව එම සම්මේලනයේ පරිපාලන කටයුතු සඳහා නිසි බලධරයා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කර ඇත.

“තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝග්‍ය අයුරින් ඉටු කිරීම උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස මෙයින් පත් කරමි.” ලෙස එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

පාපන්දු පිළිබඳ වාර්තාව පසුගිය 4 වැනිදා දහවල් නිකුත් වෙද්දී 05 වැනිදා උදා වීමටත් මත්තෙන් පාපන්දු ආයතනය විසුරුවා හැරීමට ලක් වූයේය.

ජාත්‍යන්තරයට තහනම් කලාපයක ක්‍රීඩා කිරීමේ අපලය

පාපන්දු පිළිබඳ වාර්තාවෙන් කියැවුණේ 2012 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සිදු වී ඇති බව කියන දූෂණ වංචා 30 ක් පමණ එමගින් අනාවරණය වූ බවයි. එම කාලය තුළ පාපන්දු ආයතනයේ පාලනය ගෙන ගිය හිටපු නිලධාරීන් එකී වංචා සහ දූෂණවලට සම්බන්ධ වී ඇති බවටද එම කමිටු වාර්තාව මගින් අනාවරණය කරගෙන ඇති බව ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කළේය. එමෙන්ම එම දූෂණ සහ වංචාවලට සම්බන්ධ බවට වාර්තාව මගින් අනාවරණය වූ හිටපු නිලධාරීන්ට ඉදිරි නිලවරණ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබානොදෙන බවද ඇමැතිවරයා පැවසීය.

මෙය දෙබරෙට ගල් ගැසීමක් බඳු විය. එම කාලය තුළ පාලනය ගෙන ගිය සභාපතිවරු තිදෙනකු, ලේකම්වරු දෙදෙනකු ඇතුළු නිලධාරින් කිහිප දෙනකු එම වංචා සහ දූෂණවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වී ඇති බව ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

අදාළ පාපන්දු කමිටු වාර්තාව පිටු 249 කින් යුක්ත අතර සාක්ෂි ඇතුළත් පිටු 1,000 කින් යුතු තවත් අනුකමිටු වාර්තාවක් ද ඒ අතර වේ. එම කමිටු වාර්තාව පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබාගැනීම පිණිස නීතිපතිවරයා වෙත යොමු කරන බව ද ඇමැතිවරයා එහිදී පැවසීය. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ට ද වාර්තාව පිරිනමන බව කී ඇමැතිවරයා එය පාර්ලිමේන්තුවට ද ලබා දීමට සූදානම්ය. එහිදි ඇමැතිවරයා තවත් දෙයක් හෙළිදරව් කළේය. එනම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය
මගින් එම වසර කිහිපය පුරා මෙරටට ලබා දුන් ඩොලර් මිලියන 10ක මුදලෙන් මෙරට පාපන්දුව නඟා සිටුවීමට සහ ක්‍රීඩකයන්ගේ දියුණුව පිණිස වියදම් කර ඇත්තේ සියයට දෙකක පමණ මුදලක් බවයි. ඩොලර් මිලියන 10කින් සියයට දෙකක් පමණක් වියදම් කළේ නම් ඉතිරි සියයට 98 ගියේ කොහේටද? සැබැවින්ම මේවා පිළිබඳව අවශ්‍ය නිර්දේශ ලබා ගෙන විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුය. රටේ ක්‍රීඩාවේ දියුණුව පිණිස ලැබෙන මුදල් කොයි කටේ ද නතර වන්නේ යැයි සොයන්නේ නැතුව ක්‍රීඩාවේ ඉදිරියක් ගැන සිතන්නට නොහැක.

එහෙත් තවත් දෙයක් වේ. එනම් කමිටු වාර්තාවේ දැක්වෙන කරුණු පිළිගත නොහැකි බවට හිටපු සභාපතිවරයකු වන රංජිත් රුද්‍රිගු මහතා සඳහන් කිරීමයි. ඔහු පවසන්නේ තමන් සභාපති ධුරය දැරූ කාලයේ සිදු වූ බවට සොයාගෙන තිබෙන රුපියල් මිලියන 100 මුදල් අවභාවිතාව එසේ නොවන බවයි. මලයාසියානු සංචාරයක් සඳහා එසේ මුදල් වැයකර ඇති බවට කමිටු වාර්තාවේ දැක්වේ. ඇමැතිවරයා ද ඒ බව ප්‍රකාශ කළේය. එහෙත් රුද්‍රිගු මහතා පවසන්නේ තමන් ඒ සඳහා වැය කළේ රුපියල් 16 ලක්ෂයක පමණ මුදලක් බවයි. අදාළ වාර්තාව ගෙන්වාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවට ද රුද්‍රිගු පවසන්නේය. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ රංජිත් රොද්‍රිගෝ අදාළ කමිටුව හමුවේ සාක්ෂි දීමට ද පැමිණියේ නැති බවයි. කෙසේ හෝ රුපියල් ලක්‍ෂ 16 ක් අවභාවිතා වී නම් එය ද වරදක් බවයි.

කෙසේ වෙතත් ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා තුනෙන් දෙකක්ම මේ වන විට ජාත්‍යන්තරය විසින් තහනමට ලක් කරනු ලැබ ඇත. මුලින්ම රග්බි ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් ආවේය. අනතුරුව පාපන්දුවද තහනම් වුණි. ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ද තිබෙන්නේ එවැනි අවදානමක නොවේයැයි කාටත් කිව නොහැක. පරිපාලකයෝ හෝ දේශපාලකයෝ අතින් සිදු වන කුමන හෝ වරදක් අවසානයේ නතර වන්නේ අහිංසක ක්‍රීඩකයන්ගේ කර මතිනි. ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රීඩාවක් තහනම් වීම යනු එය ක්‍රීඩකයන්ට සිදුවන බරපතළ අපරාධයකි. ඒ අපරාධය තවත් ක්‍රීඩාවකට සිදු නොවේවා කියා ක්‍රීඩකයන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නට සිදු වී ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment