පාස්කු ප්‍රහාරයේ පස්වැනි සැමරුම 20-21 කොච්චිකඩේ හා කටුවපිටියේදී

45

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් සිහිපත් කරන 5 වැනි සැමරුම වෙනුවෙන් අප්‍රේල් මස 20 සහ 21 යන දෙදිනයන්හිදී ප්‍රධාන සැමරුම වැඩසටහන කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ සහ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථාන කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එයට සමගාමීව දිවයින පුරා කිතුනු දේවස්ථානවල විශේෂ සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සහ 21දා උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීමට ද නියමිතය.

ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ හා අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක, ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා දක්වන පරිදි ප්‍රධාන සැමරුම් වැඩසටහන පහත සඳහන් පරිදි පෙළ ගස්වා ඇත.

අප්‍රේල් 20 වැනි සෙනසුරාදා

සවස 4.00ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන දිව්‍ය පූජාව,

සවස 5.30ට සා.අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයෙන් ඇරඹෙන යැදුම් පාගමන,

එම පාගමන කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානය දක්වා ගමන් කිරීම. එය 21 වැනි ඉරුදින උදෑසන 7.30ට පමණ කටුවපිටිය දේවස්ථානයට ළඟාවීමට නියමිතය.

අප්‍රේල් 21 වැනි ඉරුදින

උදෑසන 8.40ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී, සර්ව ආගමික නායකයන්ගේ සහ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 5 වන සැමරුම

(උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම.)

උදෑසන 10.30ට කොච්චිකඩේ දේවස්ථානයේදී කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිව්‍ය පූජාව.

එදින සවස 3.00ට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් භූමියේදී පැවැත්වෙන සැමරුම.

සවස 3.30ට මාරිස්ටෙල්ලා භූමියෙන් පටන්ගෙන කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් දේවස්ථානය දක්වා රදගුරුතුමන්ලා, සර්ව ආගමික නායකයන් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් ගමන් කරන යාච්ඤාවේ පාගමන.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලුම රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය දේවස්ථානයේ පැවැත්වෙන යාච්ඤා මෙහෙය

දේවස්ථානවලදී මියගිය සැදැහැවතුන්ට “විශ්වාසයේ සාක්ෂිකරුවන්” ලෙස නම් කරන්නැයි අති උතුම් කාදිනල් හිමිපාණන් වෙත තම අත්සන් පිටපත් සැදැහැවතුන් විසින් භාරදීම ද මෙම මෙහෙයේදී සිදුකිරීමට නියමිතය.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment