ප්‍රශස්ති ගයන්නෝ සහ සත්‍ය සඟවන්නෝ

238

සමාජ – දේශපාලන ක්‍ෂේත්‍රවල කෙබඳු ගැටුම් හා කැළඹීම් උද්ගත වී තිබුණත් තවමත් රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ දවසින් දවස උග්‍රවන නියංසායත් එහි වින්දිතයන් බවට පත්ව සිටින ජන ජීවිතවල අර්බුදකාරී ස්වරූපයත් බව නිසැකය. දිස්ත්‍රික් ගණනාවකම කෙත්වතු වගාබිම් විනාශ වී තිබෙන අතරම ගං හෝ වැව් දිය සිඳී පානීය ජල ප්‍රශ්නයක් ද මතු වෙමින් තිබෙන බව වාර්තා වේ. නියඟය නිසා සහල් හිඟයක් ඇති නොවුවත් එහි මිල ගණන් ඉහළ යා හැකි බවට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර වේලාසනින්ම පවසා තිබේ. මිනිස් ජීවිත පමණක් නොව සිව්පා සතුන්ගේ පැවැත්ම නියඟය විසින් අනතුරට ලක් කර තිබෙන බව සියලු ජනමාධ්‍යවලින් අවධාරණය කර තිබේ.

එහෙත් නියඟය වැනි ස්වභාවික විපත් වුවද කළමනාකරණය කළ හැකි වර්තමානයේදීත් ඒ සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට මෙන්ම කාලගුණවිද්‍යා බලධාරීන්ට ද අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත්ව තිබේ. ගොවියා පවසන්නේ ඇමැතිවරුන්ගේ කඹ ඇදීම් නිසා ජලය නිකුත් කිරීම පමා වූ බවත් සමහර කුඹුරු යායවල පිදුරුවලට ජලය ලැබුණු බවත්ය.

මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයෝජනාවක් ඉදිරිපත් වී තිබුණත් කෘෂිකර්ම, විදුලිබල වැනි ඇමැතිවරුන්ට එබඳු ප්‍රතිචාර නැතැයි කෙනෙක් සිතීමට බැරි නැත. එහෙත් ඒ බොහෝ ඇමැතිවරු මහජනයාගේ විශ්වාසභංගයට ලක්වූවෝ වෙත.ි කිසිවෙක් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් සෑහීමකට පත් නොවෙති. අදත් ගොවියෝ වීදි බැස විරෝධාවල නිරතව සිටිති. දුක් මහන්සියෙන් ගොඩ ගත් වී අස්වැන්නට හෝ සාධාරණ මිලක් නැතැයි ගොවීහු මැසිවිලි නඟති. එපමණක් නොව පමා වී නිකුත් කළ ජලය නිසි ක්‍රමවේදයකට කුඹුරුවලට නොලැබෙන බවට ද චෝදනාවක් තිබේ. ගොවියාට අවශ්‍ය ජලය පමණක් නොව පොහොර ඇතුළු ගොවි උපකරණ ද ලබා ගැනීම දුෂ්කර බව ගොවියෝ කියති. ඇත්තට ම ගෝඨාභය පාලනය විසින් නන්නත්තාර කරන ලද ගොවියෝ තවමත් සරණාගතයෝ බවට පත්ව සිටිති.

ජල ප්‍රශ්නයේ ම දිගුවක් වන විදුලි අර්බුදය පිළිබඳ තත්ත්වය කුමක්ද? හිටපු විදුලිබල ඇමැතිවරයකු වන පාඨලී චම්පික විදුලියේ පරාභවය මෙන්ම එහි ක්‍රියාත්මක වන නිලධාරි මාෆියාව ගැන ද විවිධ අනාවරණයන් කරය.ි ඇත්තට ම විදුලිබිල ජනතා හිස මතට කඩා පාත්වූයේ ද නිලධාරීන්ගේ අසමත් බව, දූෂණය ඇතුළු හේතු ගණනාවක් නිසා බව පැහැදිලිය. විදුලිබල නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද එල්ල වී තිබෙන චෝදනා බරපතළය. නියඟයක් ළංවන විට ම විදුලි නිල බල විසින් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා යොමු වන බව එම ක්‍ෂේත්‍රයෙහිම වෘත්තීය සංවිධානවල විවේචනයකි. එහෙත් මෙරටේ විදුලි පාරිභෝගිකයන් කෙරෙහි සානුකම්පිත ප්‍රතිචාර එම බලධාරීන්ගෙන් කිසිවිටෙක නොලැබෙන බවද රහසක් නොවේ. සමනල වැව ජලාශය විදුලිබල ජනනය සඳහා විනා කෘෂිකර්ම කටයුතු වෙනුවෙන් නොවන බව විදුලිබල ඇමැතිවරයා විසින්ම පවසා තිබුණි.

සමනල වැවේ ජලය උඩවලවට ලබාදීම නිසා දකුණු පළාත අඳුරේ තැබීමට සිදු විය හැකි බවට ද ඇමැතිවරයා අනතුරු අඟවා තිබුණි. මෙම විදුලි අවහිරයට අදාළ සිරිපාගම තේ වත්තක් හරහා විදුලි රැහැන් ඇදීමේ ව්‍යාපෘතියක් ඇනහිට තිබුණු බවක් ද අනාවරණය විය. දකුණේ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සම්පූර්ණ කර ගැනීමට වසර පහක් මුළුල්ලේත් අපේ පාලකයන්ට හා විදුලි නිලබලවලට නොහැකි වීමද සුළුපටු කරුණක් නොවේ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර හිමි වූ විදුලිබල ව්‍යාපෘතියක් ගල් කිරීමට (තාවකාලිකව හෝ) හැකිවීම ද පුදුම සහගතය. ඒ පිළිබඳ සැබෑ චිත්‍රය කුමක් වුවත් එයින් තහවුරු වන්නේ විදුලිබල අධිපතියන්ගේ අසමත් භාවයයි.

වසරේ වැඩි කාලයක් හිරු එළිය ලැබෙන ලංකාව වැනි රටක එමගින් නිපදවිය හැකි සූර්ය තාප විදුලිය සම්බන්ධයෙන් කිසිදු සාධනීය සැලැස්මක් නැති වූයේ කුමක් නිසා ද යන ප්‍රශ්නය මෙහිදීත් මතු වන්නකි. ගල් අඟුරු බලාගාරවල සිදුවන බව කියන කොමිස් කුට්ටි සෙල්ලම එයට හරස් වී තිබේ දැයි අපි නොදනිමු. කිසිම ආණ්ඩුවක් මෙරටේ සූර්ය බල විදුලි නිෂ්පාදනය කෙරෙහි යොමු නොවීම සම්බන්ධයෙන් විවිධ විවේචන තිබේ. වසරේ වැඩි කාලයක් ඍජුවම හිරු එළිය තිබෙන රටක් ඒ සම්පත උපයෝගී කර නොගැනීම දුෂ්ට මෙන්ම මුග්ධ ක්‍රියාවකි. විදුලි මාෆියාව, ඇතැම් නිල බලවල දූෂණ ක්‍රියා, හදිසි මිලදී ගැනීම්වල දී සමහරුන්ට ලැබෙන ප්‍රතිලාභ පමණක් නොව ගල්අඟුරු ටෙන්ඩර ආදිය සම්බන්ධ අක්‍රමිකතා ගැන ද විදුලිබල ක්‍ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය රටවැසියාට ද අවබෝධයක් ඇත.

ආගමික ස්ථාන සඳහා විදුලි බිල් නොයැවීමේ පිළිවෙතක් ද තිබුණු බව මිහින්තලාව පූජා භූමිය ආශ්‍රයෙන් මතු වූ ගැටලුවේ දී හෙළි විය. එසේම එයට හේතුව මිහින්තලා විහාරාධිපති හිමියන්ගේ ආණ්ඩු විරෝධී විවේචන බවද පැවසුණි. ඇත්ත වසයෙන්ම ආර්ථික සම්පත් තිබෙන ආගමික ස්ථානවල සහන ලබාදීම ප්‍රතිපත්තියකට අනුව සිදුවිය යුතු බව අපට ද යෝජනා කළ හැකිය. එහෙත් ඒ මුදල් මහජනතාවගේ බව ද ආණ්ඩුවල ඇමැතිවරු මතක තබා ගතයුතු වෙති. මිලියන ගණනින් විදුලි බිල් නොගෙවා හරින ලද දේශපාලනඥයන් ගැන මෙන්ම ආයතන සම්බන්ධයෙන් ද පියවරක් නොගෙන විදුලිබිල ඉහළ දමා ජනතාව පීඩාවට පත් කරන සාහසික ක්‍රමය නම් වෙනස් කළ යුතුමය. විදුලිය මෙන්ම ජලය ද අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම ගැන දැඩි විවේචන තිබේ.

මේ සියලු ආකාරයේ පීඩන හා විපත් සමාජ ගත වුවත් ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුවත් විශේෂයෙන් අදාළ ඇමැතිවරුනුත් අසංවේදී බවට ද විවෘත චෝදනාවක් තිබේ. මෙය ගෝඨාභය පාලනය බිඳ වැටීමෙන් පසු සිදුවූ දේශපාලන විපර්යාසයෙහිම නියත ඵලයක් බව අපගේ අදහසය. රට ආර්ථික අගාධයකට ඇද දැමූ පාලනයක විපාක වසයෙන් උද්ගතවූ සමාජ දේශපාලන අවුල් ජාලය විසඳන ගැලවුම්කාරයකු ලෙස පොහොට්ටුවේ ආශිර්වාදයෙන් පත්වූ ජනාධිපති රනිල් අද පෙනී සිටින්නේ එදා ඔහු ඇගයු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද යන ප්‍රශ්නය සිවිල් සමාජ ක්‍රියාකාරීහු ද නඟති.

ප්‍රශස්ති ගයන්නෝ සහ සත්‍ය සඟවන්නෝ

ඇත්ත වසයෙන්ම 2015 සිට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීමේ ක්‍රියාන්විතය වෙනුවෙන් පෙනී සිටි කැපී පෙනුණු පුද්ගලයා රනිල්ය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බව එදා ඔහුගේ දේශපාලන ආස්ථානය විය. ඒ විධායක බලය සීමාකරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ පුරෝගාමී මෙහෙවරක ඔහු ක්‍රියාශීලිවී සිටි බව ද අපට මතකය. 1978 ව්‍යවස්ථාව සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය නොතකා විධායකයසවිබල ගැන්වීමට දක්වන උනන්දුව පැහැදිලිව දැක ගත හැකිය. දෛවෝපගත අයුරින් රාජ්‍ය නායකයා බවට පත් වීමෙන් පසු ඔහුගේ දේශපාලන භාවිතය බෙහෙවින් ආන්දෝලනාත්මක එකක් වී තිබේ.

ජේ. ආර්. ජයවර්ධන විසින් ගොඩ නඟන ලද අධිපතිවාදී දේශපාලනය අනුව විධායක ජනාධිපති ධුරය නිර්මාණය වූ අතර ඒ ක්‍රමය වෙනස් කිරීමට ඉන්පසු එම ධුරයට පත්වූ කිසිවෙක් උනන්දු නොවූහ. ලංකාව ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීමේ මාවත පාර්ලිමේන්තු ක්‍රමය නොව විධායක බලය සහිත ජනාධිපතිවරයෙකුගේ පාලනය බව ජේ. ආර්ගේ විශ්වාසය විය. එහෙත් ජේ. ආර්ගේ අධිපතිවාදී බලය බිඳ දැමිය යුතුය යනුවෙන් නැඟුණු මහජන හඬ නොතකා ඒ බලය රසවිඳීම ගෝඨාභය දක්වාම සිදු විය. විධායක ධුරයට තවත් සංශෝධන එකතු කරගත් ගෝඨාභයට ඒ සියලු බලය අත්හැර පැන යෑමට සිදුවීමෙන් තහවුරු වූයෙ ්ද ජනතා බලය මැඬලීමට කිසිදු පාලකයකුට නොහැකි බවය. එහෙත් ගෝඨාභයට මුහුණ දීමට සිදු වූ ඒ සියලු විරෝධතා මර්දනය කළ රනිල් විධායකය මෙහෙයවමින් අද සිදු කරන්නේ ඒ පැරණි වැඩවසම් දේශපලන බමුණු කුලයම නඟා සිටුවීමක් නොවේ ද?

අනුප්‍රාප්තික ජනාධිපතිධුරය සම්බන්ධයෙන් විශේෂ අර්ථනිරූප ණයක් නැති වුවද ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විසින් නඟනු ලබන තර්කයක් වන්නේ ජනාධිපති රනිල් ගෝඨාභයගේ ජනවර මෙහි ඉතිරියත් එයින් අනුමත කරන ලද දේශපාලන ප්‍රතිපත්තිවලට අනුකූලවත් කටයුතු කළ යුතු බවත්ය. එහෙත් ගෝඨාභය සිය මැතිවරණ ප්‍රකාශනයෙහි ඇතුළත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ යෝජනාව ගැන ජනාධිපති රනිල් කිසිදු තැකීමක් නොකරයි. ගෝඨාභය රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන්නේ ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවත් රටේ ව්‍යවස්ථාව දේශපාලන පක්ෂවල හා පුද්ගලයන්ගේ අභිලාෂයන් වෙනුවෙන් සකස් කිරීමේ වරද නිවැරදි කරන බවත්ය. ඔහු එදා ජනතාවට එබඳු ප්‍රතිඥාවක් දුන්නේ ජයවර්ධන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිබුණු අප්‍රසාදය හා ජනතා විරෝධය නිසා බව ද නිසැකය.

ජයවර්ධනගේ සමකාලීන දේශපාලන මිත්‍රයන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් කීර්තිමත් විද්වතුන් දෙපළක් ද වන ආචාර්ය ඇන් . ඇම්. පෙරේරා හා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එම හැත්තෑ අටේ ව්‍යවස්ථාව අරභයා කළ විශ්ලේෂණය අතිශය ගාම්භීර එකකි. ඉංග්‍රීසියෙන් සිදු කළ එය විවේචනාත්මක විශ්ලේෂණයක් නමින් සිංහලට නඟා තිබේ. ජේ. ආර්ගේ ව්‍යවස්ථා උගුල ගැන ආචාර්ය කොල්වින් මෙසේ කියා තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ ජයවර්ධන ඇමෙරිකානු ක්‍රමයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂටත්වය පිළිබඳ කථාවෙන් ජනතාව රවටා ලංකාවේ ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට සුදුසු ව්‍යවස්ථාවක් සම්මත කර ඇති බවය. මේ ඔහුගේම වදන්ය.

ආචාර්ය පෙරේරාගේම වචනවලින් කිවහොත් (එය) අවුල් ජාලයකි. එම අවුල් ජාලය පාර්ලිමේන්තු ප්‍රජා තන්ත්‍රවාදයක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැලඳගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයකි.

විවේචනාත්ක විශ්ලේෂණයක් පිටුව – 16

කෙසේ හෝ එදා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටි රනිල් අද ජනාධිපතිවරයා ලෙස ගමන් කරන්නේත් ජයවර්ධන සොඳුරු යැයි යහපතැයි පැවසූ දේශපාලන මාවත ඔස්සේම නොවේද? ජනාධිපති වටයක් ගොස් පැමිණ සිටින්නේත් එහි මුලට ම නොවේද? කුමක් වුවත් එදා ගෝඨාභය අපේක්‍ෂා කළ මහජන මතය නියෝජනය වන දේශපාලන හා බහුජන සංවිධානවල අදහස් ලබාගෙන පාර්ලමේන්තුව නියෝජනය කරන පක්‍ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත් වූයේ ද නැත. ඔහු ඒ සඳහා ජනාධිපත නීතීඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සමන්විත නීතීඥ කණ්ඩායමකට එම කෙටුම්පත සකස් කිරීමට භාර කළේය. එය සම්පූර්ණ කර අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂට ලබා දී ඇති බවක් ද කියති. එහෙත් එහි අන්තර්ගතය කුමක්දැයි මෙතෙක් හෙළිවී නැත. ජනාධිපති රනිල් හෝ පොහොට්ටුවේ නායක මහින්ද හෝ වෙනත් කිසිවෙක් හෝ ඒ පිළිබඳ දැනුවත්ව සිටිත් දැයි අපි නොදනිමු. එහෙත් ජනාධිපති රනිල් දැන් සිය දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ අලුත් ව්‍යවස්ථාවකට නොව 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමටය. එසේ වුවද පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි පොහොට්ටුව මෙන්ම ඉන් ඉවත්වී සිටින විමල්, ඩලස් ඇතුළු කණ්ඩායම් ද මෙබඳු සංශෝධනයකට එකඟ නැති බව ද ප්‍රකාශ වී තිබේ.

මේ දේශපාලන ප්‍රතිචාරවලින් ගම්‍ය වන්නේ ජනාධිපති රනිල්ට සිය දේශපාලන ව්‍යාපෘතිය පස්සට දැමීමට හෝ බහා තැබීමට සිදු විය හැකි බවය. එහෙත් මේ බොහෝ නායකයන් මුරුංගා අතු මතට නංවා ප්‍රශස්ති ගයන වන්දි භට්ටයන්ගේ ව්‍යාපෘති නිසා අද තිබෙන දේශපාලනය පිළිබඳ නිවැරදි කියැවීමක් කී දෙනෙකුට තිබේද යන්නත් අපි නොදනිමු. වෘත්තිකයන් හා වෛiවරුන් සරසවි ඇඳුරන් ආදී බුද්ධිමය ප්‍රජාව රට හැර යෑමට හේතුව අරගලයේ ප්‍රතිචාර මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම වැනි දේවල් නිසා බවද ඇතැම් ඇමැතිවරයෙක් කියයි. ආර්ථික පීඩාව, ජීවන අරගලය උග්‍රවීම වැනි දුෂ්කරතාවලින් ජනතාව හෙම්බත් වී සිටිද්දී ඇත්තෝ කති බොති. සුව විඳිති. නැත්තෝ දත්කූරු කති දෙස් දෙවොල් තබති. වගකිව යුතු නිල බලවලට හෙණ ඉල්ලති. එහෙත් ඒ කිසිවකින් හෙට ගැන සුබවාදී අපේක්‍ෂා ඇතිකර ගත හැකිද?

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment