මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි. පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ. ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹුරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබුවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි. මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙනා එකතු වී මූකලානක් කොටා පුළුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු වෙන් කර ගත්තද හේනේ පැල් රැකීම කරන ලද්දේ සාමූහික හැඟිමකිනි. එසේම අස්වනු කපා පාගා ගැනීම සහ බෙදා හදා ගැනීම සඳහා පුද්ගලිකත්වයට වඩා සාමූහිකත්වය ඉස්මතු විය. මේ නිසා මුළු රටේම වැඩ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමින් තිබුණි. පසු කාලීනව රාජකාරිය යනුවෙන් නම් කළ අතර සියලුම රට වැසියන්ට තමන්ගේ කාර්යයක් හිමි විය. කුල වශයෙන් වෙන් කර තිබුණ ද ඒ ඒ අය අතර බෙදා හදා ගැනීමද අත්තමට කයියට වැඩ කිරීමද උපරිම මට්ටමින් තිබූ ආකාරය පැහැදිලි වේ.

බෙදා හදාගැනීම පිළිබඳ රාජ නීතිය සහ පැරණි මූලාශ්‍ර

මේ බෙදා හදා ගැනීම ජාන වලින් පැමිණි දෙයක් නොවේ. බුදු දහම වැළඳ ගැනීමෙන් පසු ඒ සාරධර්මයන් හි රජු පිහිටීම නිසා මෙවැනි හැදියාවක් ආරම්භ වන්නට ඇත. සතුරු ආක්‍රමණ මත පසු කාලීනව රටේ අවුල් වියවුල් ඇති වූ නිසා නැවත ඒ පෙර සිරිත් පණ ගැන්වීම අවශ්‍ය විය. ඒ අනුව සකස් කරනු ලැබූ නීති සහ රීති මගින් නැවත ඒ සිරිත් ආරම්භ විය. චාරිත්‍ර සහ වාරිත්‍ර යනුවෙන් අප අතර අද ව්‍යවහාර වන්නේ එයයි. යම් නීතියක් චාරිත්‍රයක් වන්නට නම් ඒ සිරිත දිගු කාලයක් තිස්සේ ජන සමාජය විසින් භාවිත කළ යුතු විය. එවිට එම පෙර සිරිත නීතියක් වුවත් නීතියක් නොවී ජන සමාජය විසින් ආරක්ෂා කරනු ලබති. බෙදා හදා ගෙන කෑම බෙදා හදා ගෙන වැඩ කිරීම සිංහල ජන සමාජයට පුරුදු පුහුණු කරන ලද්දේ එසේය. ඉරිපින්නියාව (පදවිය අසල) ටැම් ලිපිය අනුව වාරිමාර්ග අමුණු බැන්දවීමටද පෙර සිරිත ක්‍රියාත්මක විය. එයද නීතියකින් පැමිණියකි. මේ සම්බන්ධව තිබෙන තවත් වැදගත් හොඳම උදාහරණයක් ලිඛිතව පැවතීම මේ පිළිබඳව විමර්ශනය කරන්නවුන්ට ඉතා වැදගත්ය. අනුරාධපුරයේ ඇතුලු නුවර මහාපාලි දාන ශාලාව ආසන්නයේ පවතින සතරවන මිහිඳු රජුගේ ශිලා ලේඛනය ඊට දෙස් දෙයි.

සතරවන මහින්ද (ක්‍රි.ව.980-996) පස්වන කාශ්‍යප රජුගේ පුත්‍රයෙකු ලෙස සැළකිය හැකිය. ඔහුගේ බිසව කාලිංග කුමරියක වූවාය. ඒ වන විට දළදා වහන්සේ සන්තකයේ පැවතීම කාලිංග දළදා පරපුරේ නොහොත් කීරවැල්ල බිසවක් සිටීම රාජ උරුමය තහවුරු කරලීමට බලවත් සාධකයක් විය. ඒ ශක්තිය නිසා මහින්ද රජු දඹදිව ආක්‍රමණය කොට තුන්වන කෘෂ්ණ රජු පරාජයට පත් කළේය. එසේම ඌරාතොට නැතිනම් කයිට්ස් දූපතට පැමිණි දෙමළ ආක්‍රමණිකයෙකු පරාජයට පත් කොට රාජ්‍ය ස්ථාවර කොට වසර දහසයක් රජකම් කළේය. මේ නිසා ඔහුට ශාසනික මෙහෙයක් කළ හැකි වූ අතර දළදා වහන්සේ කෙරෙහි තිබූ භක්තිය නිසා දළදා මැඳුර ප්‍රතිසංස්කරණයට ලක් කළේය. අනතුරුව ඒ ආසන්නයේ ශිලා ලේඛනයක් ද පිහිටුවන ලද්දේය. ඊට අමතරව වෙස්සගිරිය අසල සහ මිහින්තලයේ යන ස්ථානවල පිහිටුවන ලද ශිලා ලේඛන මෙරට ශාසනික නීතිය සහ රටේ පෙර සිරිත හුවා දක්වන ප්‍රබල සාධක වෙති. අනුරාධපුර පුවරු ලිපියේ සඳහන් වන වැදගත් රීතින් සමාජය වෙත මුදා හැරීමට සිදු වූයේ කුමක් නිසාදැයි මෙම ලිපිය කියැවීමෙන් පසක් කරගත හැකිය.

බෙදා හදාගැනීම පිළිබඳ රාජ නීතිය සහ පැරණි මූලාශ්‍ර

රදළ කුලයට පරිභෝග වූ උකස් ගම් සහ පමුණු ගම්වල කැබලිවල අස්වනු පෙර සේම වැළඳීම නොහොත් පරිභෝජනය කළ යුතු යැයි මෙහි මුලටම දක්වා තිබේ. මෙම ගම්හි හේන් ගොවිතැන් ගැන දක්වා තිබෙන්නේ වියළ් යනුවෙනි. ඒවා පෙර සේම වළන්දවමින් ඒ ලැබෙන අස්වැන්න ගම් වැසියන් විසින් අඩක් වශයෙන් බෙදා ගත යුතු බව දක්වා තිබේ. ඒ ගම්වල කැලෑ එළිකොට වැව් සකස් කර ගත් කල්හි ලැබෙන ලාභයන් බෙදා ගත යුතු බව දක්වා තිබේ. එසේම ගම් වැසියන්ට යම් කරදරයක් නොහොත් නැස්මක් වුවහොත් තිබෙන තැනින් ගෙන බෙදා හදා ගැනීම අගය කර තිබේ. සැබවින්ම අදටත් මේ සිරිත ගම්වල පවතී. කරදරයකදී ඔවුන් සැම එකතු වෙයි. සැමියා නැතිවූ බිරිඳ නඩත්තුවට කුඹුරු කැබලි පවා වෙන් කරන සිරිතක් දක්නට තිබුණි. දඹුල්ල අසල කලුන්දෑවේ එලෙස වෙන් කරන ලද කූඹුරකට සුද්දන්ගේ පාලනය යටතේ අත්වූ ඉරණම ගැන විස්තර මෑත කාලයේ දී අසන්නට හැකිය. එකල රාජ්‍ය සේවයේ සිටි දෙමළ අගම්පඩි සේනාවකට දුන් දෙමළ ගම් බිම් වලින් පෙර සිරිත් ලෙසම එනම් දෙමළ් කුලී අය කරගන්නා ලෙසටද මෙහි දක්වා තිබේ. ඒ අනුව සතරවන මහින්ද රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන්නේ සිංහල නීතියේ වැදගත් මූලාශ්‍රයකි.

● මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment