මෛත‍්‍රියේ බලය

765

කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව පැතිරෙමින්, මුළු රටම ව්‍යසනයට පත්ව ඇති මෙකල එම වසංගතය මෙරටෙන් දුරලීම සඳහා රජයේ නියමයන් සහ සෞඛ්‍ය අංශවලින් දෙනු ලබන උපදෙස් පිළිපදින අතරම, අප හැමදෙනම මෛත‍්‍රිය වඩා, කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව අප රටෙන් දුරලීමට කටයුතු කරමු.

 කොවිඞ්-19 වසංගතයෙන් නැතහොත් කොරෝනාවෙන් රෝගීන් බවට පත්වන මියයන සංඛ්‍යා වැඩි වන මෙකල මුළු රටෙහි වෙසෙන ජනතාවට මෙත් පැතීමට සැම ආගමිකයකුට ම පිළිවන. එයට කිසිම ආගමකින් බාධාවක් නොමැත.

 බුදුදහමෙහි සඳහන් වන ආකාරයට මෙත් වැඞීමෙහි ආනිශංස ගණනාවක් ඇත. එයින් එකක් නම් මෙත් වඩන්නා දේවතාවන් විසින් රකිනු ලබන බවයි.

 එපමණක් නොවේ. මෙත් වඩන්නේ නම් අමනුෂ්‍ය‍යකුට ඔහුගේ සිත පෙළිය නොහැකි බව බුදුදහමෙහි සඳහන් වේ.

 මෛත‍්‍රියෙහි නියම තේරුම ද්වේෂය රහිත බව යනුවෙන් අංගුත්තර අටුවාවෙහි සඳහන් වේ. මෛත‍්‍රිය යනු අව්‍යාපාදය බව පාලි – සිංහල අකාරාදියෙන් ‍ද පෙනේ.

 දිනපතා භාවනා කිරීම සඳහා කාලය යොදාගනු ලබන්නේ නම් ඉතා අගනේ ය. නිවෙසේ සිටින සියලූ‍ දෙනා සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදවලට අනුව එක් වී, පහසු තැනක හිඳ මෛත‍්‍රී භාවනාවෙහි යෙදෙන්නේ නම් එය බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. ‘මෙලොව වෙසෙන සියලූ‍ දෙනා සුවපත් වෙත්වා‘ යැයි මෙත් වැඩිය හැකිනම් කෙතරම් වැදගත් දැයි සිතා බලන්න. ජාති, ආගම්, පක්ෂ භේදවලින් තොරව එසේ කළ හැකි නම් එය උසස් මිනිස්කමක් නො වේ ද.

 එමනිසා විවේකී වේලාවල, විවේකී ව, සුදුසු පරිසරයක පහසු ඉරියව්වකින් හිඳ, හැකි වේලාවක් එසේ මෛත‍්‍රී භාවනාවෙහි යෙදෙන්න.

 එපමණක් නො වේ. සිටින හෝ ඇවිදින හෝ හිඳින හෝ වැතිර සිටින හෝ හැම විට ම මෙසේ මෙත් සිත පහළ කරගැනීමට උත්සාහවත් වන්න.

 මේ ආකාරයට උදේ අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක් කරන සෑම ක‍්‍රියාවක් ම හැකිතාක්, මෙලොව වෙසෙන සියලූ‍ දෙනා අරමුණු කරගෙන ‘සුවපත් වෙත් වා, සුවපත් වෙත්වා‘ යැයි මෙනෙහි කරමින්ම සිදු කරන්නට බලන්න.

 උදෑසන අවදි වූ මොහොතේ පටන්, දත් මදින, මුහුණ සෝදන, ඇවිදින, වාඩි වී සිටින ආදී වශයෙන්, නිදාගැනීමට ඇඳට ‍ගොඩ වී නින්ද යන තෙක් ම, මෙලොව වෙසෙන සියලූ‍දෙන අරමුණු කරගෙන ‘සුවපත් වෙත් වා, සුවපත් වෙත් වා‘ යැයි මෙනෙහි කළ හැකි වාර ගණන අපමණ බවත්, එසේ මෙනෙහි කිරීමෙන් ලැබිය හැකි ප‍්‍රයෝජන අසීමිත බවත් ඔබට ප‍්‍රායෝගිකව අත්දැකීමට පිළිවන.

 සේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් කරන ලද, වාස්තුවක් මෙන් කරන ලද, එළැඹ සිටියක් කරන ලද, පුරුදු කරන ලද, බලවත් සේ අරඹන ලද, මෛත‍්‍රී සහගත චිත්ත විමුක්තියෙහි ආනිශංස එකොළොසක් වෙතැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බව ත‍්‍රිපිටකයෙහි අංගුත්තර නිකාය 6හි ඒකාදසක නිපාතයට අයත් අනුස්සති වර්ගයෙහි මෙත්තානිසංස සූත‍්‍රයෙහි සඳහන් වේ.

 එම ආනිශංස එකොළොස මෙසේ ය:

 01 සුවසේ නිදයි.

 02 සුවසේ පුබුදියි.

 03 පවිටු සිහින නො දකියි.

 04 මිනිසුනට ප‍්‍රිය වෙයි.

 05 අමනුෂ්‍යයනට ප‍්‍රිය වෙයි.

 06 දේවතාවෝ රකිති.

 07 ගිනි හෝ විස හෝ ආයුධ හෝ නො වදියි.

 08 වහා සිත එකඟ වෙයි.

 09 මුහුණ ඉතා ප‍්‍රසන්න වෙයි.

 10 මුළාවට නොපැමිණ කළුරිය කරයි.

 11 මත්තෙහි ඵල ප‍්‍රතිවේධ නොකළහොත් බඹලොව උපදියි.

 ‘‘යමකු මෙත්තා චේතෝ විමුක්තිය වඩන ලද ද, බහුල කරන ලද ද, යානයක් මෙන් කරන ලද ද, වාස්තුවක් මෙන් කරන ලද ද, එළඹ සිටියක් කරන ලද ද, පුරුදු කරන ලද ද, බලවත් සේ අරඹන ලද ද, අමනුෂ්‍ය‍යකු ඔහුගේ සිත පෙළිය යුතු ය යි සිතන්නේ නම්, ඒ අමනුෂ්‍යයා වෙහෙසීමට, විඩාවට පත් වන්නේ ය‘‘යි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බව ත‍්‍රිපිටකයෙහි සංයුත්ත නිකාය 2හි ඔපම්ම සංයුත්තයෙහි සත්ති සූත‍්‍රයෙහි සඳහන් වේ.

 රටවැසි හැමදෙන ම මෙසේ මෙත් වඩන්නේ නම් කොවිඞ්-19 වසංගතය මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් අපේක්ෂා කරන සහය නිරායාසයෙන් මහජනතාවගෙන් රජයට සහ සෞඛ්‍ය අංශවලට ලැබෙනු ඇත.

 එබැවින් කොවිඞ්-19 වසංගතය දුරලීම සඳහා රජය විසින් කරනු ලබන නියමයන් සහ සෞඛ්‍ය අංශවලින් දෙනු ලබන උපදෙස් පිළිපදින අතර ම, අප හැමදෙන ම, ‘මෙලොව වෙසෙන සියලූ‍දෙන සුවපත් වෙත් වා‘ යයි මෙත් වඩමින්, දෙවි රැුකවරණත් ලබා, කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව ඉක්මනින් අප රටෙන් තුරන් වේ වා! යි පතමු.

 විශ‍්‍රාමික අධ්‍යාපනඥ සහ භාවනා උපදේශක
 * රෝහිත විජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment