රැජිනට ඇන්දා වේදිකාවේ – අමන්ද්‍යා උත්පලී

162

ගිරිරාජ් කෞෂල්‍යගේ දුව අමන්ද්‍යා උත්පලී පසුගිය දවස්වල රැජිනට ඇන්දා ගීතය හරහා අතිශය ජනප්‍රිය වුණා. ඔන්න ඒ රැජිනට ඇන්දා වැඩේ දැන් වේදිකාවට එන්නයි හදන්නේ. ඇත්තටම මේ වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ. මේ දවස්වල හැමෝම නන්දා කියල ආමන්ත්‍රණය කරන ගිරිරාජ්ගේ දුව අමන්ද්‍යාගෙන් රැජිනට ඇන්දා වේදිකාවේ වැඩේ ගැන පුංචි කතාබහක නිරත වුණා. පහතින් දිස්වෙන්නේ එහි පෙළගැස්මයි.

● රැජිනට ඇන්දා වේදිකාවේ?

මේක තමයි මගේ පුංචි කාලේ ඉඳලා තිබුණ හීනය. මේ මගේ පළමු ගීත ප්‍රසංගය. රැජිනට ඇන්දා වේදිකාවේ කියල තමයි ඒ ප්‍රසංගයට නම තැබුවේ. ලංකාවේ ගොඩක් දෙනෙක් මාව දැන ගත්තේ රැජිනට ඇන්දා ගීතය හරහායි. ඉතිං මේ ගීතය මුලින්ම ප්‍රචාරය වෙනකොටත් ගොඩක් අය හොයපු දෙයක් තමයි මේක වේදිකා නාට්‍ය ගීතයක් ද කියලත්. ඉතිං අපි හිතුවා මේක වේදිකාවට ගෙනැල්ලා තවත් අලුත් ගීත කිහිපයක් එක්ක වෙනස්ම අත්දැකීමක් ලබාදෙන්න.

රැජිනට ඇන්දා වේදිකාවේ - අමන්ද්‍යා උත්පලී

● රැජිනට ඇන්දා වේදිකාවේ හැඩය මොන වගේද?

මේක ගී ප්‍රසංගයක්. නමුත් මම මේකට ඒකපුද්ගල ගී ප්‍රසංගයක් කියලා කියන්න අකමැතියි. මොකද මෙය එතැනින් එහාට ගිහිල්ලා නාට්‍ය අනුසාරී දේවල්, රංගනය, නර්තනය, බෙර වාදනය වැනි සියලුම දේවල් එකතුවුණු ප්‍රසංගයක්.

● රැජිනට වේදිකාවම අන්දවන්න සූදානම් වන පිරිස කවුද?

මෙම සංදර්ශනයේ මම තමයි ප්‍රධාන වශයෙන්ම ගීත ගායනා කරනු ලබන්නේ. ඊළඟට මගේ තාත්තා සහ සහන් රන්වල කියන ගුරුතුමාවත් මතක් කරන්න ඕනෑ. ඒත් එක්කම මගේ සැමියා වන සාරංග කළුගලගේ. ඒ තුන්දෙනාගේ ඔළුවේ පැළවුණු වැඩක් තමයි මේක. ඉතිං නිර්මාණාත්මක අධ්‍යක්‍ෂණය පැත්තෙන් මගේ තාත්තා, සහන් සර් වගේම මගේ සැමියත් විශාල සහයෝගයක් ලබා දෙනවා.

රැජිනට ඇන්දා වේදිකාවේ - අමන්ද්‍යා උත්පලී

● ඊට පස්සේ?

ජනයි, ප්‍රියයි තමයි නිවේදන කටයුතුවල නිරත වෙන්නේ. මට ඕනෑ වුණේ මේක මිනිස්සුන්ට ඉතා සමීප සංදර්ශනයක් බවට පත් කරන්න. අපි සහ ප්‍රේක්‍ෂකයා අතර දුරස්ථභාවය උපරිමයෙන් අඩු කරන්න මට ඕනෑ වුණා. ඒක හින්දමයි මගේ වැඩේට ජනයි ප්‍රියයි සම්බන්ධ කරගත්තේ. ඊට අමතරව සුගත් හෙට්ටිආරච්චිගේ සංගීතය, ප්‍රසාද් කුලසිංහ රංගායතනයෙන් නර්තනය සපයනවා.

● ආරාධිත ශිල්පීන් කවුද?

රොඩ්නි වර්ණකුල සහ උදේෂ් ඉන්දුල ආරාධිත ශිල්පීන් විදිහට සම්බන්ධ වෙනවා.

● රැජිනට ඇන්දා වේදිකාවේ තවත් කොන්සර්ට් එකක් නෙමෙයි එහෙමද?

මම එහෙම හඳුන්වන්න කැමතැයි. සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගයක් ගත්තහම ගායක ගායිකාවෝ ගීත ගායනා කරනවා. ඒවාට නැටුම් තිබෙනවා. හැබැයි මේක එතැනින් එහාට ගිහිල්ලා සිද්ධවෙන වැඩක්.

● තාත්තා මේ ප්‍රසංගය ගැන මොනවද කිව්වේ

තාත්තා ඉතාම සතුටුයි මේ ප්‍රසංගය ගැන. අම්මටයි තාත්තාටයි ඉතාම සතුටුයි.

● අලුත් ගීත කීපයක් එදාට එළිදක්වනවාද?

ඇත්තටම අලුත් ගීත හතරක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රසංගය හරහා තමයි ඒ ගීත එළිදක්වන්නේ.

● රැජිනට ඇන්දා වේදිකාවට එන්නේ කවදද?

රැජින වේදිකාවට එන්නේ පෙබරවාරි 24 වැනිදා වෝටර්ස් එජ් හිදී සවස 7.30 ට සියලුම දෙනාට ආරාධනා කරනවා ප්‍රසංගය බලන්න එන්න කියලා. ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න පුළුවන් රැජිනට ඇන්දා ඩොට්කොම් කියන වෙබ් අඩවිය හරහා.

● රැජිනට ඇන්දා රට වටා යන්න අදහසක් තියෙනවාද?

දැනටමත් මට දෙවැනි සංදර්ශනයට නුවරට ආරාධනා ලැබිලයි තියෙන්නේ. ලංකාවේ තිබෙන ප්‍රධාන නගරවල මේ ප්‍රසංගය පවත්වන්න සූදානමක් තිබෙනවා.

● රැජිනට ඇන්දා ගීතය නිර්මාණය කළේ මේ වැඩේ ඔළුවෙ තියාගෙනමද?

කීයටවත් නැහැ. රැජිනට ඇන්දා සින්දුව නිර්මාණය කරන කොට මම හිතුවේ නැහැ ලෝකය වටේ ඉන්න මිනිස්සු මේ ගීතයට මෙච්චර ආදරය කරාවි කියලා. මට තවමත් හිතාගන්න බැහැ. ගිය අවුරුද්දේ ජනවාරි 22 වැනිදා තමයි රැජිනට ඇන්දා ගීතය එළිදක්වන්නේ. අද වෙනකොට මේ ගීතයට අවුරුද්දකුයි දවස් ගණනාවක් ගෙවිලා. නමුත් තවමත් මේ ගීතය එක සමානව ජනප්‍රියයි. වයස් භේදයක් නැහැ.

● රැජිනට ඇන්දා නිර්මාණය වෙලා වසරයි. මොකද හිතෙන්නේ?

රසික ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. දැන් මට පොඩි ළමයි කතා කරනවා ‘මං නන්දා අක්කා’ කියලා. එහෙමත් නැතිනම් තැනකට ගියහම “ආ මේ නන්දානේ” කියලත් කියනවා. නන්දා කියන අන්වර්ථ නාමයෙන් තමයි බොහෝ තැන්වල මාව හඳුන්වන්නේ. මම ඒකට හරි ආසයි වගේම ආදරෙයි. ලෝකෙ වටේ ඉන්න ලාංකිකයෝ මට කතා කරනවා. මේ දවස්වල මට හැමෝම කතා කරන්නේ නන්දා කියලා.

● රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?

පසුගිය දවස්වල ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ ඇතුළුවීම තහනම් වගේම ‘කී’ කියන ටෙලි නාට්‍ය දෙකට රංගනයෙන් දායක වුණා. ඉදිරියට ඔහුගේම ආදරණීය මිනිසෙක් කියන ටෙලි නාට්‍යයෙන් ආපහු දකින්න ලැබේවි. ඔය අතරේ ජනයි ප්‍රියයි සහ ලකයි සිකයි එක්කත් වීඩියෝ දෙකක් කළා.

● රන්වල බළකායේ වැඩකටයුතුවලට මොකද වෙන්නේ.

රන්වල බළකායත් එක්ක පසුගිය වසරේ ගොඩක් කාර්යබහුල වුණා. මේ වසරත් අපි ආරම්භ කළේ වැඩමුළු මාලාවක් එක්ක. දැන් මම රන්වල බළකායේ ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment