වෘත්තීය සමිති කියන විදිහට රට වහන්න බෑ

906

විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටියට, වෘත්තීය සමිති නායකයෝ ලෙස පෙනී සිටියට, විද්වත් සංගමයක සභාපති ලේකම් කියලා නම් දාගත්තට ඒ අය කියන කියන විදියට නටන්න අපි ලෑස්ති නැහැ. රට වහන්න මේ වෙන කොට අදහසක් නෑ. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වලින් ඒ නිර්දේශ ලබා දෙනවා නම් එය ක‍්‍රියාවට නංවන්න පැකිළෙන්නේ නැතැයි ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (15දා) අනුරාධපුරයේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘‘ඒ අය ඔවුන්ගේ පක්ෂයේ වෘත්තීය සමිතිවල නායකයන් විදියට කටයුතු කළ අය. ඔවුන්ට තියෙන අපේක්ෂාව මිනිස්සු මැරෙන එකවත් මිනිස්සු රෝගීන් වෙන එකවත් පාලනය කිරීමවත් නොවෙයි. ආණ්ඩුව පෙරළන එකයි. ඔවුන් මේ වසංගතයට මුවා වෙලා ආණ්ඩුව පෙරළන්න කටයුතු කරනවා. මේක අපි වෙන් කරලා ගන්න ඕනේ. ඇතැම් අය මෙච්චර කල් නිදාගෙන ඉඳලා දැන් ඇවිල්ලා කිඹුල් කඳුළු හෙළනවා. ඒවා ගැනත් අපි හොඳ අවධානයෙන් ඉන්නේ. අපි දන්නවා සංචාරණ සීමා තද කළ යුතුයි. ජනතාව නිවසින් එළියට එන එක වැළැක්වීම සඳහා සියලූම පියවර ගත යුතුයි. ඒක මුවාවෙන් තමන්ගේ දේශපාලනය කරන්න එනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.

කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය, සෞඛ්‍ය බලධාරීන් කියන දේ අහන්නෙ නෑ කියලා විපක්ෂය න`ගන චෝදනා සම්බන්ධයෙන් පළමුවෙන්ම සොයා බලන්න ඕනේ. මේ අය කියන මේ බලධාරීන් කවුද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙය සම්බන්ධයෙන් කටයුතු කරන නිල කමිටු කිහිපයක් තිබෙනවා. ඒවගේම වසංගත රෝග විද්‍යා ඒකකයක් තියෙනවා. ජනාධිපති කාර්ය සාධන බළකායක් තිබෙනවා. නිල වශයෙන් අපට ලැබෙන උපදෙස් නිර්දේශවලට අනුව වැඩ කරන්න අපි බැඳිලා ඉන්නවා. හැබැයි දේශපාලන පක්ෂවල අතකොලූ, බළල් අත් විදියට වැඩ කරන අය කියන ඒවා කරන්න අපි බැඳිලා නැහැ. වෘත්තීය සමිතිවල, විද්වත් ආයතන, සංගම්වල ප‍්‍රධානීන් ලෙස කටයුතු කරන ඇතැමුන් මේ රජය බලයට පත්වෙන එක නතර කරන්න අනෙකුත් දේශපාලන බලවේගවල මන්ත‍්‍රීවරුන් විදිහට වැඩකටයුතු කරපු අය.

අපි බලන්න ඕනේ එදිනෙදා හම්බකරන් කන අය ගැන. ගෙයින් එළියට යන එක මෙහෙම නවත්වන්න බෑ. නීතියෙන් කරන්න තියෙන දේ අපි බුද්ධියෙන් කටයුතු කිරීමෙන් කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න නිවසින් එළියට යන එක අපි විසින්ම නවත්තගමු.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment