ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්මෙහි වැදගත්කම

98

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව ජූලි මස 21 දින නවදිල්ලි නුවරදී සිදු වූ අතර එය ඉතා සාර්ථක සහ ඵලදායී එකක් විය. සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි.

දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන ලෙස මෙහිදී ඉන්දු – ලංකා නායකයෝ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර පහක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබේ.

තවද, දෙරටේ ජනතාව අතර ශිෂ්ඨාචාරමය බැඳීම්, භූගෝලීය සමීපත්වය, සංස්කෘතික සබඳතාව සහ වසර දහස් ගණනක සුහදතාවය මගින් ලබා දෙන අසමසම වාසි නායකයන් විසින් අවධාරණය කරන ලදී. හවුල් සහ තිරසාර ආර්ථික සමෘද්ධියක් ගෙන එන ආකාරයෙන් පවත්නා සහසම්බන්ධතා සහ අනුපූරකතා උපයෝගි කර ගැනීමේ අවශ්‍යතාවය දෙරටේ නායකයන් මෙහිදී අවධාරණය කරන ලදී.

සමුද්‍රීය සම්බන්ධතාවය

අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට දෙරට නායකයන් එකඟතාවයකට එළඹ ඇත.

ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම සඳහා රටවල් දෙක පොදු එකඟතාවයකට එළඹ ඇත.

නව මගී යාත්‍රා වැඩසටහන යටතේ එක් මගී යාත්‍රාවක මගීන් 150 දෙනකු රැගෙන යන අතර මගියෙකුට රැගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 100ක් බවට නියම කර ඇත. මෙහි දී එක් ගමනාන්තයක් සඳහා වන ගමන් ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

දෙරට අතර සංචාරක පැමිණීම් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී පාරු සේවා නැවත ආරම්භ කිරීම මහඟු පිටිවහලක් වන බවට සැකයක් නොමැත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත මගී යාත්‍රා ප්‍රවාහන සේවයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සෘජු දායකත්වයක් සපයනු නොඅනුමානය. මේ තුළින් ඉන්දීය ව්‍යාපාරිකයන් ඇතුළු සංචාරකයන්ගේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි අතර ඒ තුළින් රටේ සමස්ත සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියට පිටිවහලක් වනු ඇත. ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථාවන් බිහිවනු ඇත. ඒ මගින් එම සේවාවන්හි නිරත අයගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙය මහත් ආශිර්වාදයක් වනු ඇත. දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවට පත් වූ ජනතාවට ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම මහත් ආශිර්වාදයක් වනු නොඅනුමානය. මෙම ව්‍යාපෘතිය මෙරටට විදේශ විනිමය ගෙන එන තවත් මූලාශ්‍රයක් වනු ඇත. මීට අමතරව විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ජනයා විසින් නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා මේ මගින් වෙළෙඳපොළක් ඇති කරනු ඇත. එම ප්‍රදේශවල ජනයා ගෘහස්ථව සිදු කරන නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් මේ මගින් නිර්මාණය වනු ඇත. ඓතිහාසික වැදගත්කමකින් යුත් සිද්ධස්ථාන නැරඹීමට ඉන්දීය සංචාරකයන් වැඩි වැඩියෙන් පැමිණෙනු ඇති අතර ඒ තුළින් දෙරට අතර සංස්කෘතික සබඳතා පුළුල් ලෙසට වර්ධනය වනු ඇත.

ගුවන් සම්බන්ධතා

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා පුළුල් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගිතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇත.

බලශක්ති ක්ෂේත්‍රයේ එකඟතාවයන්

මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ඉන්දියාවේ සිට රැහැන් මගින් මෙගාවොට් 1000 ක් ලබා ගන්නා විදුලි ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කර, ලබන 2027 වසරේදී එය නිම කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පල කර තිබුණි. මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධව අවසන් ශක්‍යතා වාර්තා මේ වන විට සකසමින් තිබෙන අතර එම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වැය වන බවට ගණන් බලා ඇත.

තලෙයිමන්නාරමේ සිට තමිල්නාඩුව දක්වා මුහුදේ සවි කරන කණු මතින් විදුලි රැහැන් මගින් මෙරටට විදුලිය ලබා ගන්නා අතර පළමු අදියරේ දී මෙගා වොට් 500 ක් ද දෙවන අදියරෙන් ඉතිරි මෙගාවොට් 500 ලබා ගැනීමට ද සැලසුම් කර ඇත. යම් හෙයකින් ශ්‍රී ලංකාවට අතිරික්ත විදුලි ධාරිතාවක් පවතින කාලයේ ඉන්දියාවට එම විදුලිය ලබා දීමටත්, ශ්‍රී ලංකාවට විදුලි අවශ්‍යතාව වැඩිවන වකවානුවේ ඉන්දියාවෙන් විදුලිය මිල දී ගැනීමත් මේ ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රැහැන් මගින් කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛත්වය දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය දින පැවසීය.

බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක ඇති කර ගෙන ඇති අතර එය අධ්‍යයනය කර ඒ හා සමාන ගිවිසුම්වලට එළඹීමට කටයුතු කිරීම බොහෝ සෙයින් ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ වාසි සහගත වනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

ගොඩබිම හරහා සබඳතා ඇති කර ගැනීම

දෙරට අතර සබඳතා නව තලයකට ගෙන එන යෝජනාව වූයේ දෙරට අතර ගොඩබිම හරහා සබඳතා ඇති කර ගැනීමයි. එවැනි ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරි කාලය තුළ සිදු කරනු ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් කවත්‍රා මෙහිදී පැවසුවේ නායකයන් දෙදෙනාම මෙම යෝජනාව ඉදිරියට ගෙන යෑමට කැමැත්ත පල කර ඇති බවයි. දෙරට අතර භූමි සම්බන්ධතා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට ශක්‍යතා අධ්‍යයනයක් හරහා දෙපාර්ශ්වයේ එකඟතාවයක් ඇතිව ව්‍යාපෘතිය සිදු වනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ ඉන්දු-ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්ම පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ ජනාධිපති මාධ්‍ය ඒකකයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දියාව සමග ගොඩබිම් සම්බන්ධතා ඇති කර ගැනීම මෙරටෙහි ජාතික ආරක්ෂාවට බලපෑම් ඇති නොකරන්නේ දැයි මාධ්‍යවේදීන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

කිසිසේත් රටට තර්ජනයක් වන කිසිදු දෙයක් සිදු කිරීමට ජනාධිපතිවරයා හෝ තම රජය කටයුතු නොකරන බවට අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, පාර්ශ්වයන්ගේ එකඟතාවයක් මත පමණක් මෙම කටයුතු සිදු කරන බව පැවසීය.

“අද දකුණු ඉන්දියානු කලාපය ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට ලක්වී තිබෙනවා. තමිල්නාඩුව, ආන්ද්‍රා සහ තලගනා ආදී ප්‍රදේශවල ඇති වී තිබෙන මෙම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට ළඟාකර ගැනීමට නම් වරායන් අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම දෙරටේ නායකයන් අවබෝධ කරගෙන තියෙනවා. වරායන් අතර මෙම සම්බන්ධතා ඇති කර ගන්නේ කෙසේදැයි පිළිබඳ විද්වතුන් එක්ව සාකච්ඡා කළ යුතුයි. ඒ පිළිබඳ සාකච්ඡා කර කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට දෙපාර්ශ්වයේ නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගත්තා. එම කරුණු පිළිබඳ සියලු පාර්ශ්වයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු තීරණයක් ගැනීමට දෙපාර්ශ්වය එකඟ වුණා,” විදේශ අමාත්‍යවරයා පැවසීය.

එහිදී අලි සබ්‍රි අමාත්‍යවරයා පවසා සිටියේ ලෝකයේ එක් රටකට පොදු මායිම් පැවතීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බවයි. ලෝකයේ අනිකුත් රටවල් එලෙස සම්බන්ධතා ඇති කර ගන්නා බවත් ශ්‍රී ලංකාව දූපතක් ලෙසට පිහිටා නොතිබුණි නම් මේ වන විටත් වෙනත් රටවල් කිහිපයක් සමග මෙවැනි සම්බන්ධතා මේ වන විටත් ඇති කර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දෙවන ලෝක යුද්ධයේදී යුරෝපීය රටවල් එකිනෙකා සමග සටන් කළත් අතීතයට වහල් නොවී යුද්ධයෙන් වසර පහළොවකට පසුව එම යුරෝපීය රටවල් එකතු වී යුරෝපා හවුල පිහිටුවා ගත් බව විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. යුරෝපීය රටවල් දේශසීමා බැඳීම් ඉවත් කර ගෙන, පොදු මුදල් ඒකකයක් වෙත යොමු වෙමින් විශාල ආර්ථික සංවර්ධනයක් ළඟාකර ගැනීමට කටයුතු කරගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. කෙසේ වෙතත් මෙවැනි යෝජනාවක් අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහි අනුමැතියෙන් පමණක් ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව අලි සබ්‍රි මහතා පවසා සිටියි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිමෙන් පාලමක් ඉදිකිරීමේ යෝජනාව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් සිදු කරන නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී දැනුම් දුන් බව වාර්තා වේ.

ගෝලීය ආර්ථිකයේ නව ප්‍රවණතා මනාව හඳුනා ගෙන ලොව නැගී එන බලවතෙකු වන ඉන්දියාව සමග “ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” යටතේ ඉහත ආකාරයේ ගනුදෙනු සහ එකඟතාවයන්වලට එළඹීමෙන් අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කරගත හැකි බව නොරහසකි.

advertistmentadvertistment
advertistmentadvertistment