තෙවැනි දිනට වැස්සෙන් බාධා ශ්‍රී ලංකාව තවත් ලකුණු 83ක් පිටුපසින්

240

තෙවැනි දිනටත් ඊයේ ක්‍රියාත්මක කෙරුණු ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයේදී ඊයේ (25 වැනිදා) දිනට තරගය නතර කර දමන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටියේය. ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 83ක් පිටුපසින් සිටියේ කඩුලු 5ක්ද අතැතිවය.

 ඊයේ උදැසන තරගය ආරම්භ කරන විටදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබා සිටියේය. පිටියේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 70ක් සහ සැඳෑ ආරක්ෂක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි කසුන් රාජිත ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

 කෙසේ වෙතත් ඊයේ දිනයේදී පළමු කඩුල්ල ලෙසින් කසුන් රාජිත ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට එබඩට් හුසේන් සමත්විය.

 අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගැනීමට ෂකීබ් අල්හසන් සමත්වූ අතර දිමුත් හතරේ පහර 9ක් සමගින් ලකුණු 80ක් රැස් කිරීමට සමත්විය.

 ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක් වූ ධනංජය ද සිල්වා සාර්ථක ලකුණු සම්බන්ධතාවක් දියත් කරමින් ලකුණු 102ක සම්බන්ධතාවයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. ෂකීබ් අල් හසන් යැවූ පන්දුවක් පිත්තේ වැදී කඩුලු රකින් ක්‍රීඩක ලිටන් දාස් අතට උඩපන්දුවක් බවට පරිවර්තනය වීමත් සමගින් ධනංජයගේ ඉනිම නිමා වී ගියේය. ධනංජය ද සිල්වා ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 9ක් සමගිනි.

 මේ අතර ඊයේ දිවා භෝජනයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී මීර්පූර් ක්‍රීඩාංගණයට ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් පැය 4කට ආසන්න කාලයක් ඊයේ දිනයේදී අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව තේ පානයෙන් පසුව නැවතත් ක්‍රියාත්මක කෙරුණු තරගයේ ඊයේ දිනට තවත් පන්දුවාර 37ක් යැවීමට තීරණය කර තිබිණද අඳූරු ආලෝක තත්වය යටතේ පන්දුවාර 27ක් යැවූ පසු තරගය ඊයේ දිනය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. කෙසේ වෙතත් ඊයේ දිනයේදී පන්දුවාර 30කට ආසන්න ගණනක් මගහරුණු අතර ඒ හේතුවෙන් තරගයේ සිව්වැනි දිනය වන අද (26 වැනිදා) දිනයේදී සහ හෙට (27 වැනිද) දිනයේදී තරගය උදැසන 9ට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

තෙවැනි දිනට වැස්සෙන් බාධා ශ්‍රී ලංකාව තවත් ලකුණු 83ක් පිටුපසින්

advertistmentadvertistment
advertistmentadvertistment