සංගීතය බලද්දී නිලධාරීන්ගේ පහරකෑමට ලක්වූ දෙදරු පියාගේ පැමිණිල්ල ගැන  පොලිසිය තවමත් නිහඬයි

553

හිසට සහ ඇස්වලට හානි
පැය 3ක ශල්‍යකර්මයකුත් කරලා

කළුතර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් තමන්ගේ හිසට සහ ඇස්වලට හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු පාර්ශවයකින් මෙතෙක් තමන්ට සාධාරණයක් සිදුව නැතැයි කළුතර, බොලොස්සගම පදිංචි දෙදරු පියෙකු වන එම්. ඩී. දහම්රත්න මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් සහ තම පවුලේ අය කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පවා පැමිණිලි කළද දැනට මාස 02ක් ගතවීමට ආසන්නව ඇතත් එයිනුත් තමනට මෙතෙක් සාධාරණයක් ඉටුව නැතැයිද කී ඒ මහතා කීය.

පොලිස් පහරදීමේන් සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර වෙනුවෙන් මසකට රුපියල් 6000 ක් පමණ වැය වන අතර තමනට මේ වනවිට

රැකියාවක් කිරීමේ අපහසුතාවක්ද ඇතැයි දහම්රත්න මහතා (39) සඳහන් කළේය.

පසුගිය මාර්තු මස 30දා කළුතර, ගල්පාත ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුරදී පොලිසිය විසින් කළ මෙම පහරදීම හේතුවෙන් ඔහු දින 11ක් තිස්සේ කළුතර නාගොඩ රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එහිදී ඔහුගේ හිසට පැය 3ක පමණ ශල්‍යකර්මයක්ද සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‘දිවයින’ට මෙසේ සඳහන් කළේය.

මම මාර්තු 30 වැනිදා ගල්පාත තිබුණු සංගීත් සංදර්ශනයක් බලන්න ගියා තවත් යාළුවෙක් එක්ක. අපි එහි නටමින් සිටින විට පොලිස් නිලධාරියකු සහ තවත් අයෙක් පැමිණ මගේ යාළුවාගේ ඇඟේ වැදුනා. එවිට මගේ යාළුවාට ඒ ගැන ඇහුවාහම ඔවුන් පහරදුන්නා. පහරදීලා කෙස්වලින් ඇදගෙන ගිහින් නැවතත් පහර දුන්නා. මමත් ගිහින් ගහන්න එපා කියද්දී මටත් ඔවුන් ගැහුවා.

මම එවිට පහර කාගෙන සංගීත සංදර්ශනය මැද්දට දිව්වා. ඔවුන් මා පසුපස එලවාගෙන ඇවිත් අල්ලාගෙන පහරදුන්නා. නිල ඇඳුමෙන් සිටි එස්. අයි මහත්තයා හොඳටම ගැහුවා. ගහලා ලේ පෙරෙමින් සිටි මාවත් මගේ යාළුවාවත් පොලිස් ජීප් එකට දැම්මා. ජීප් එකට දාලා පැය එකහමාරක් විතර තියා ගෙන හිටියා. ඒ අය මත්පැන් පානය කළා. මට අමාරුයි කිව්වම මැරුණත් රෝහලට ගෙනියන්නේ නෑ කියලා ඔවුන් කිව්වා. පසුව මට බැණ වදිමින් රෝහලට

ගිහින් දැම්මා. දාලා මට මංචු දාලා ඔවුන් යන්න ගියා.

මම ඒ අවස්ථාවේ සිටි වෛද්‍යවරියට කිව්වා මට මේ අය ගැහුවා. මේ මහත්තයාලා තමයි ගැහුවේ, මට අමාරුයි කියලා. පසුව වෛද්‍යවරිය මාව ප්‍රතිකාර සඳහා යොමු කළා. මට සේලයින් දුන්නා. දවස් දෙකක් මගේ ළඟ පොලිසියේ හිටියා. ඒ අතර තුර මගේ විස්තර අහලා ඒ අයම මගේ අත්සන බලෙන්ම අරගෙන පොලිස් ඇප දුන්නා කියලා ගියා. මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න එපා කියලා ඔවුන් මට රෝහලේ දීත් තර්ජනය කළා.

මගේ බිරිඳ කළුතර උතුර පොලිසියට ගියත් පැමිණිල්ල ලියා ගන්නවත් ක්‍රියා කර තිබුනේ නෑ. හොඳටම බැණලා තිබුණා. පසුව නිජෝජ්‍ය පොලිස්පති කාර්යාලයටත් පැමිණිලි කළා. නමුත් තවම මගේ පැමිණිල්ල  විභාග කළේ නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment