මහ පාර ගිලා බැස ඇති ආකාරය

පවුල් 110 ක් පාසලකට ගාල් කළ “මඩුවත්ත” ඛේදවාචකය

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 90ක්‍ මඩුවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිවාස බොහොමයක් වසර සියය ඉක්මවූ නිවාසය. නොඑසේ නම් සියයට ආසන්නය. ඇතැම් නිවාස නිමවා ඇත්තේ එක්දහස් අටසිය තිස් ගණන්වලය. වසර ගණනක් තිස්සේ පරම්පරා දෙක තුනක් වතු සමාගම්වලට කඹුරා ලැබුණු අර්ථසාධක අරමුදලින් ඇතැම් නිවාසයක ඉදිරිපසට එක් වී ඇත්තේ කාමරයක් හෝ ආලින්දයක් පමණකි. නමුත් මේ වන විට ඔවුන් පරම්පරා ගණනාවක් වාසය කළ ඒ නිවාස අහිමි වී ඇත. මාස ගණනාවක් තිස්සේ නොකඩවා ඇදහැළුණු වර්ෂාව වසර දෙසියයක් තිස්සේ අවතැන්ව සිටින වතු කම්කරුවන් කබලෙන් ලිපට ඇද දමා තවත් අවතැන් කර ඇත. ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට ඔවුන්ගේ වාසස්ථානය වී ඇත්තේ බ/විග්නේෂ්වර මහා විද්‍යාලය යි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සේම එම ප්‍රදේශයටත් ලැබුණු අධික වර්ෂාවත් සමග නිවාස 110ක් පමණ ගිලාබැසීමේ අවදානමකට ලක්ව තිබේ.

ත්‍රිරෝද රථයක රැය පහන් කරන දරු පවුල්

“අපි පවුල් 120ක් පහුගිය දෙසැම්බර් 31 වෙනිදා ඉඳන් ඉන්නෙ මේ විග්නේෂ්වරන් දෙමළ මහා විද්‍යාලයේ. අපේ ගෙවල් ටිකේ පහළින්ම තියෙන්නේත් වත්තේ මුලින්ම තියෙන්නේත් මගේ ගෙදර. ගෙදර බිත්ති පුපුරලා තියෙනවා දැක්ක ගමන්ම මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. මුලින්ම බිත්තිවල ඉරි තැලීම් පෙන්නුම් කළේ අපේ ගෙදර. ඒක දැක්ක ගමන්ම අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ඇවිත් අවදානම් කලාපයක් කියලා අපිට ඉවත් වෙන්න කිව්වා. එදා ඉඳන් අපි ඉන්නෙ මෙතන.

මට ඉන්නෙ දූලම තුන් දෙනෙක්. ලොකු දුව කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. අනිත් අය තාම ඉස්කෝලෙ යනවා. මාසයකට කිට්ටුයි මම රස්සාවට නොයා. මම රස්සාව කළේ කොළඹ. ඉස්කෝලෙ තුන්සියයක් හාරසියයක් විතර මිනිස්සු ඉන්නෙ එකම තැන. ගෑනු ළමයි එහෙම සෙනඟ ගොඩාක් මැද්දේ තනියම දාලා යන්න බැරි නිසා මම වැඩට යන්නේ නෑ. අපි රෑට නිදාගන්නෙ ත්‍රීවිලර් එක ඇතුළෙ. ආපහු අපේ ගෙවල් වල ඉන්න බෑ. ඒ තරමට බිත්ති පුපුරලා. සමහර බිත්ති කඩන් වැටිලා. අපි මෙතනට අරන් ඇවිත් තියෙන්නේ රෙදි ටිකයි ත්‍රීවිලර් එකයි විතරයි. අනිත් බඩු ඔක්කොම ගේ ඇතුළේ. ගේ කඩන් වැටිලා ඒ ටිකත් විනාශ වුණොත් ආපහු කොහෙන් පටන් ගන්න ද කියලා හිතාගන්න බෑ.” ජේ. එම්. අනුර කුමාර පැවසුවේ කණස්සල්ලෙනි.

පසුගිය 31 වන දා සිට පවුල් එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයක් රැඳී සිටින්නේ පන්ති කාමර හතරකය. වැසිකිළි කැසිකිලි අවශ්‍යතා සපුරා ගැනීමට ඇත්තේ උතුරා යන වැසිකිළි දෙකක් පමණකි. කුඩා දරුවන්, අබාධිත පුද්ගලයන්, කාන්තාවන් හා මහළු පිරිස් යන සියල්ලන්ගේම පාවිච්චියට ඇත්තේ එම වැසිකිළි දෙකය.

මරු කටක නිදි සුව විඳින බිළින්දෝ

ඔවුන් මෙම සනීපාරක්ෂක ගැටලුව නිසාම සිය ජීවිත අවදානම ද නොතකා දවල් කාලයේ දී ස්වකීය නිවෙස් වෙත ගොස් ඒ අවශ්‍යතා ඉටුකර ගෙන නැවතත් පාසල වෙත පැමිණෙන බව එස්. දේවගී පැවසුවා ය. “පාසලේ තියෙන්නේ වැසිකිළි දෙකයි. දෙකම උතුරනවා. මෙතන හාරසීයක් විතර ඉන්නවා. වැසිකිළි ප්‍රශ්නෙ අපි මෙතනට එන නිලධාරීන්ට කිව්වම එයාලා කිව්වේ දැන් වැස්ස අඩු නිසා දවල් කාලෙ ගෙවල්වලට ගිහින් පෞද්ගලික පිරිසිදු වීම් කරගෙන එන්න කියලා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ විතරයි රැඳෙන්න එපා කිව්වේ. දවල් කාලෙදි ගෑනු දරුවො සහ පොඩි ළමයි ඉන්න ගොඩාක් දෙනෙක් ගෙවල්වලට ගිහින් ඉඳලා රෑට තමයි ඉස්කෝලෙට එන්නේ. පොඩි ළමයි ඉන්න අය ගොඩාක් වෙලාවට ගෙවල් වලට යන්නේ එයාලගේ කෑම හදන්න සහ නිදිකරවන්න. මොකද පුංචි බබාලට කෑම හදාගන්න තරම් මෙතන පහසුකම් නෑ. සද්දෙ, මැස්සො, මදුරුවෝ රස්නෙ වගේ දේවල් එක්ක පොඩි ළමයින්ව දවල් කාලෙ නිදි කරවන්නත් අමාරුයි. ඒක නිසා දවාලට පුංචි දරුවො ඉන්න හැමෝම ගෙවල් වලට යනවා.” දේවගී දැක්වූ අදහස සනාථ කරන්නට මෙන් බොහෝ නිවෙස්වල පිපිරී ගිය බිත්ති ආසන්නයේම හයක් හතරක් නොදන්නා බිළිඳුන් සුව සේ නිදා සිටිනු නිරීක්ෂණය විය.

දහවලට නොවන ආපදා

2023ත් එක්කම ගිලා බැස්සා ගමක්…

ආපදා කළමනාකරණ නිලධාරීන් අදහස් කරන අන්දමට ගිලා බැසීම් හා නාය යෑම් සිදු වන්නේ රාත්‍රී කාලයේදී පමණක්ය. ආපදාවට ලක්වූවන්ට අවම පහසුකම් හෝ සපයනු වෙනුවට ඉතා ලෙහෙසි පහසු උපදෙසක් දී ඇඟ බේරාගෙන ඇත. අවදානම් කලාපයක් ලෙස නම් කර පදිංචිකරුවන් ඉවත් කර දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවා කාලයේ නිවෙස් වෙත යෑමට පැවසීමත්, නිවෙස් වෙත ගිය අතර වාරයේ දී අවතැන් වූවන් සඳහා වියළි ආහාර ලබා දීමට පැමිණෙන නිලධාරීන්ගේ නාම ලේඛනයෙන් ඔවුන් ඉවතට විසි වීම නිරන්තරයෙන් සිදු වන බවට එහි සිටි පිරිස චෝදනා කළහ. “ආපදා කළමනාකරණ නිලධාරීන් දහවල් කාලයේදී ගෙවල්වලට ගියාට කමක් නෑ කියලා කිව්වාට අපි ගෙවල්වලට ගියාට පස්සෙ මෙතන වියළි ආහාර නිකුත් කරන නිලධාරියා දොස් කියන්නේ කියන දේ අහලා මෙතනට වෙලා ඉන්නෙ නැතුව ගෙවල්වල යනවා නම් මේ බඩු දෙන්න පුළුවන් කමක් නෑ කියලා. සමහර වෙලාවට ඒ දෙන බඩු ටික මදි” අත දරුවෙක් සමග ඔට්ටු වෙමින් එහි සිටි මවක් පැවසුවා ය.

“හැම දවසකම වගේ මේ කඳවුර බලන්න කවුරුහරි එනවා. ඇවිත් කතා බහ කරලා කන්න බොන්න බඩු ටිකක් දීලා යනවා. අපිට කන්න බොන්න නම් කොහෙන් හරි හොයාගන්න පුළුවන්. ඉන්න තැනක් තමයි අපිට ඕන. පාසල් පටන් ගන්න කිට්ටු නිසා විදුහල්පති අපිට පාසලෙන් ඉවත් වෙන්න කියලා තියෙන්නේ. නමුත් තවමත් නිසි බලධාරීන්ගේ අවධානය හරියාකාරව මේ සඳහා යොමු වෙලා නෑ.

වගකිවයුතු නිලධාරීන් වෙත අපේ ගැටලු ඉදිරිපත් කර විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳව පසුගිය දිනක මෙම කඳවුරේ නිරීක්ෂණයකට සහභාගි වූ ඌව ශක්ති පදනම පැහැදිලි කිරීමක් කළා. අපි ඒ වන තුරු අපේ ගැටලු අදාළ අංශවලට යොමු කර තිබුණේ නිවැරැදිම ආකාරයට නෙවෙයි. තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධවත් ඔවුන් අපිව දැනුවත් කිරීමක් කළා. ඉදිරියේ දී අපි ඒ අනුව ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු වෙනවා.” නගුලේන්ද්‍ර රාජා පැවසුවේ ය.

ඌව ශක්ති පදනම් ආයතනයෙන් පැමිණි නිරීක්ෂකයෙක් පැවසුවේ සාමාන්‍යයෙන් අවතැන් වූවන් රඳවන කඳවුරක තිබිය යුතු මූලික කාරණා කෙරෙහිවත් මෙම පිරිස කඳවුරුගත කිරීමේ දී සැලකිල්ලට ගෙන නොමැති බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය. “සාමාන්‍යයෙන් විශාල පිරිසක් කඳවුරුගත කරද්දී ගැහැනු පිරිමි වෙන් වෙන් වශයෙන් රැඳවිය යුතුයි. එසේත් නැතිනම් පවුල් වශයෙන් වෙන් කර තැබිය යුතුයි. මේ දෙයාකාරයටම නැතිව විශාල පිරිසක් එකම ශාලාවක් තුළ තැබීම ගැටලුසහගතයි. පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට පමණක් නොව සෞඛ්‍ය ගැටලු පවා මේ හේතුවෙන් ඇති විය හැකියි. තාවකාලික වැසිකිළි ස්ථාපිත කර කැළි කසළ බැහැර කිරීමටත් නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නමුත් මෙහි එවැනි කිසිවක් දකින්නට නැහැ”

බිමට පහත් වන කප්පරක් බලාපොරොත්තු

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන තැනූ නිවාස බිමට සමතලා වනු දක්නට නොහැකිව ඇතැමුන් පරාලවලට මුක්කු ගසා තිබුණි. එම්. නාලිකාගේ නිවස පිහිටා තිබෙන්නේ ද එම කඳු ගැටයේ ඉහත්තාවේය. එය එහි තිබෙන අවසන් නිවසයි. ගිලා බසින නිවසේ වහලයට මුක්කු ගසා තිබුණේ සිවිලිමත්, වහලේ තහඩුත් රැක ගන්නටය. අංග සම්පූර්ණව නිමවා තිබූ නිවසේ වැඩ අවසන් කර තවම වසරක්වත් ගතව තිබුණේ නැත.

2023ත් එක්කම ගිලා බැස්සා ගමක්…
සියල්ලන්ටම ආහාර පිසින අයුරු

“දරුවො තුන් දෙනා එක්ක ඉස්කෝලෙ ඉන්න අමාරුයි. ඥාති නිවසකට ගියත් හැමදාම ඒක කරන්න අමාරුයි. දන්න අඳුනන හැමෝගෙම ගෙවල් පුපුරලා. ඥාති ගෙවල්වල ගිහින් ළමයි ඉස්කෝලෙ යවන්න විදියක් නෑ. ඉඩමක් දෙනවා නම් පැලක් හදාගෙන හරි යන්න තිබුණා. වත්තෙන් නම් ඉඩම් දෙන කතාවක් තියෙනවා. තාම ඒක බලලා මැනලා, වෙන් කරලා නෑ. ඉක්මණින් ඒ දේවල් ටික වුණා නම් අපිට ඒක ලොකු සහනයක්. මොකද පරක්කු වෙන්න, පරක්කු වෙන්න මේ ගෙයි තියෙන දේවලුත් විනාශ වෙනවා. මේ දේවල් කිසි දෙයක් වෙනස් නොකර තියන්න කියලා නිලධාරීන් කියනවා. ඒත් අපි අමාරුවෙන් හදාගත්ත දේවල් එහෙම කැඩිලා බිඳිලා යනකල් බලන් ඉන්න පුළුවන් ද? ගේ සම්පූර්ණයෙන්ම කැඩෙන්න කලින් අපිට මේ වහලෙ, සිවිලිමේ තහඩු ටිකයි, ජනෙල් දොරවල් ටිකයි වත් ගලවගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. අපිට බය මෙහෙම ගිහින් මේ ටිකත් අලුතින්ම ගන්න වෙයිද කියලා.” නාලිකා පවසන්නීය. මෙම නිවැසියන්ගේ පදිංචිය පිළිබඳ මඩුවත්ත ග්‍රාම නිලධාරිතුමියගෙන් විමසූ කළ ඈ පැවසූවේ තොරතුරු අවශ්‍ය නම් කාර්යාලයට පැමිණ විමසන ලෙසයි.

වාසයට සුදුසු ඉඩම්

2023ත් එක්කම ගිලා බැස්සා ගමක්…

නමුත් ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසුවා ය. “අවදානම් කලාපයේ සිටින නිවාස හිමියන් එකසිය දහයටම ඉඩම් ලබා දීමට වතු සමාගම කැමැත්ත පළ කර තිබෙනවා. වතු සමාගමෙන් ලබා දෙන ඉඩම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් පරීක්ෂා කළාට පසු ඉඩම් ලබා දිය හැකියි. දැනට යෝජනා වී තිබෙන්නේ පාසල් ආරම්භ වීමට පෙර සියලුම දෙනා පාසලෙන් ඉවත් කිරීමටයි. මේ පවුල් එකසිය දහයෙන් අධි අවදානම් නිවාස එකොළහක් තිබෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් පෙන්වා දී තිබෙනවා. එම නිවෙස්වල පදිංචිකරුවන්ට කුලී පදනම මත නිවාස සොයා ගන්නා ලෙස දැනුම් දුන්නා. ඒ සඳහා එක් පවුලකට මාසයකට රුපියල් දස දහසක් වෙන් කරන බව දිසාපතිවරයා දැනුම් දුන්නා. ඉතිරි පවුල් නැවතත් ඔවුන්ගේ නිවාසවලම තාවකාලිකව රඳවා තැබීමට කටයුතු කරනවා. නැවත වර්ෂා කාලය ආරම්භ වීමට පෙර අනතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් සවි කිරීමටත්, ඒ සඳහා පුහුණුවක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතර කාලයේ දී ඉඩම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. යම් හෙයකින් ඉඩම් ලබා දීමට පෙරාතුව හදිසියේ ආපදා තත්ත්වයක් ඇති වුවහොත් නැවතත් කඳවුරුගත වීමට උපදෙස් ලබා දී තිබෙනවා.”

ඇය පවසන පරිදි මීළඟ වැසි සමයට පෙර වාසයට සුදුසු බිම් කොටසක් එහි සෑම නිවෙස් හිමියකුටම ලබා දිය යුතුව ඇත. නමුත් අනතුරු හැඟවෙන සංඥා පද්ධතියටත්, වැසි දිනවල දී කඳවුරු ගත වීමටත් හුරු පුරුදු වන්නට සිදු නොවන්නේ නම් එය ඔවුන්ට තරමක හෝ සැනසිල්ලක් ගෙන දෙනු ඇත.

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment