කාව්‍ය සංග්‍රහයන් දොළහකින් සමාජය අමතමින් අවුරුදු 52 ක් කවි ලියූ බුද්ධදාස ගලප්පත්ති කවියා කාලයත් සමග අපගේ සාහිත්‍ය ලෝකයෙහි පුරාවෘත්තයක් බවට පත්වනු ඇතැයි මට සිතුණේ ඔහුගේ අලුත් කවි පොත ‘ගිරිහිස සිට’ ජනගත වූ අවස්ථාවේදී ය. පෙරළී යන සමාජයක ඝෝෂාවත් – නිශ්ශබ්දතාවත් අසන්නේ ඒ හඬ ශබ්දවල අනේක අර්ථ ඡායා සමාජ නෙතට පෙන්වා දෙන්නේ කවියා ය.

1972 බුද්ධි ලියූ ‘දොළොස්මහේ පහන’ තවමත් දැල්වෙමින් ඇත. 1974 ඔහු ලියූ ‘කැටපත් පවුර’ මත අදත් ඔහුගේ කවිය ලියැවෙන්නේය. 1976 ‘පාර වසා ඇත’ ලියූ බුද්ධි අදත් බොහෝ වැසුණු පාරවල් දිගේ යමින් එහි ගිරි හිස සිට කවිය ලියන්නේ නොසිඳෙන දියලුමක් වැනි කවි ශක්තියකින්ය. එබඳු ශක්තිජනක කවියකු ලැබීම සාහිත්‍ය සමාජයට භාග්‍යයකි.

බුද්ධි තනිවම තමාගේ කවිය ලියමින් සිටින්නෙක් නොවේ. ඔහු අද දවසේ තරුණ කවීන්ගේ ලිවීම් ද පරීක්‍ෂාවෙන් සිටින්නෙකි. එහි රුව ගුණ විමසන්නෙකි. මා වරක් බුද්ධිට කියා සිටියේ තරුණ කවීන්ගේ කාව්‍යකරණයේ වටිනාකම් අගයන අතර ඒ තුළ සිදුවෙමින් ඇති හිස්කම් නිසරුකම් ගැන ද ඔවුන්ට පෙන්වා දෙන ලෙසත්, ඉතිහාසයක් ඇති ඔබ නව පරපුරට ‘ගුරුවරවීමක්’ සිදු කළ යුතුය කියාත්ය.

බුද්ධිය බිඳවැටුණ සමාජයක කලාවන් ද ආත්මීය ගුණයෙන් පිරිහෙයි. කවි නැති කවි පොත් අද රැල්ලේ බිහිවෙමින් ඇත ‘ආබාධිත කවි’ ‘අනාථ කවි’ ‘ලොලිපොප්’ නම්වලින්ම ඒවා හඳුන්වා ඇත. ඉන්දියාවේ සුලභව ලියැවෙන මේ වැනි කවි හඳුන්වන්නේ “MCDONALDS FAST FOODS” යන නමින්ය. බටහිර රටවල එවැනි නිසරු කවි විලාස නම්කර ඇත්තේ (small pox in poetry) සරම්ප බෝවුණු කවි සැටියටය. ඒවා බොහොමයක් සමාජ ප්‍රචාරණවලට සිරගතවීමක් ලෙස විචාරකයන් පෙන්වා දී ඇත. ‘කවියකුගෙන් ඇසූ ප්‍රශ්නයක්’ නමින් බුද්ධි ලියන අලුත් කවිය ඒ යථාර්ථය විවෘත කරන්නකි.

දැන් බලන්නකො
අරය කවි පොත් මෙච්චරයි
මෙයා කවි පොත් මෙච්චරයි
ඔයා නිස්සද්දනේ
මොකද හිඳිලද
නිර්මාණ උල්පත් දැන්…
කවියාගේ හදවතේ පිළිතුර මෙයයි.
හිතුවද මම කවි හදන ෆැක්ටරියක් කියලා
පාන් හදන බේකරියක් වගේ
පාන් පුච්චනව වගේ
කොත්තු රොටී හදනව වගේ
කවි ලියන්න බෑ මට
මම දන්නෑ එහෙම කවියක්
එහෙම ලියන්නෝ ලියන්නියො
ඇති ඕන තරම්
ඒත් මට බෑ…

කවියාගේ පිළිතුර ඉතා දැඩිතරය.

ෆැක්ටරි හදන කවි අතරේ ඔබ ඉන්න
බේකරියෙ පිච්චෙන කවි පාන්ගෙඩි අතරෙ
ඔබ ඉන්න.
මම මගේ නොලියැවෙන කවි අතර
ඉන්නම්

බුද්ධිගේ කාව්‍ය සංග්‍රහ සම්බන්ධයෙන් මා දකින එක් අසාමාන්‍ය සාධකයක් වන්නේ මුළු පොතේම සරු – නිසරු සියලු ලිවීම්වලට වොට්ස් තිස්දහසක තරම් ආලෝකයක් සපයන මහාර්ඝ විද්‍යුතයක් ගැබ්වී ඇති අධිනිර්මාණ කීපයක් අන්තර්ගතවීමයි.

‘මළගම’ එබඳු විශිෂ්ටාදර්ශයකි. එය ගැමියකු ගේ විපතක් ගැනය.

ගුරු පාර
කෙළවර
සුදු කොඩියක් ය.
……රෝහලින් ඔහු සීතල සිරුර
රැගෙන ආ වග නිවසට
…..මල්කරුවන්ගෙ රථය
රැගෙන ආ සුදු ඇත් දළ

ගෞරවය – උත්තමභාවය හඟවන සංකේත ලෙස මළගිය ඇත්තන්ගේ දේහය දෙපසින් ඇත්දළ යුගලයක් තැබීම සංස්කෘතික සිරිතකි. කවියා ඒ මළගම් පුවත දෙදරවා දමමින් කවියට යන්නේ මළගිය ඇත්තා පෙට්ටියෙන් නැගී සිට ඇත් දළ දැක මොරගසන සැටි දක්වමින් ය. කවියා අත්දැකුම කුළුගන්වන්නේ මෙලෙසටය.

…..සිහිවී ඔහුට
පාගා දැමූ අන්දම
හේන ඉහත්තෑවෙහි
කළුවරෙහි ඔහු දුටු
වන ඇතුගෙ සුදු ඇත්දළ
විසල් පර්වතයකි
ඇත් රජු
සුදු දළ යුවළ දරමින
දවටා සොඬින් ගුලි කොට
පාගා දැමූ ඔහු

ඇත්රජු… සුදු දළ යුගල… පහරදීම… මරණය ඒ සංඥාවන් සියල්ල කැරකී කේන්ද්‍රගත වන්නේ යථාර්ථ ඛේදය පුපුරුවාලමින් පාඨකයා තැතිගත් ඥාණයකට හසුකර ගනිමින්ය.

බුද්ධිගේ කවිවලින් අපට ඇසෙන්නේ ඉතා සංවේදී සහානුකම්පිත කල්පනාකාරී වටිනා මිත්‍රයකුගේ කටහඬකි.

…..මම ඉක්මනට එනවා ප්‍රේම්
ඔබව දකින්නට
ඔබේ වැඩිහිටි නිවාසෙට

බිරිඳගේ වියොවින් පසු තනි වූ පිරිමියකු කමිස බොත්තම ගැලවුනෝතින් මොන දෙවියකුට කියන්නද? කොහොමද කරපටියෙ ගැටය දා ගන්නේ සිතන සැටි බුද්ධි ලියා ඇත්තේ, ගැහැනු ගියාම පිරිමින්ට එන්නේ බයයි තැතිගැන්මයි කියා ලියූ ඇල්ප්‍රඩ් ස්ටීග්ලීව්ස් ඇමරිකානු කිවිඳියගේ කවි සිහිගන්වමින්ය.

ඒ සිවුපද කවියෙහි පස්වැනි පේළිය ඔබද… බුද්ධි ලියූ සංකල්පනය, නොලියූ පද පෙළ ඔබද… අලුතින් ලියැවෙන පද පෙළ ඔබද… යන හැඟීම් සුළියකට අප ඇද දමයි.

…..මම අපේ අම්ම වගේ
මෝඩ ගැහැනියක් නම් නෙවෙයි නිර්මල

වෙසඟනකගේ දියණියක් අසන මේ ප්‍රශ්නයෙන් අප දකින්නේ කවියා සමාජයෙන් ඉතා වැදගත් ප්‍රශ්න අසන්නෙකි යන සංකල්පනය කවියා අප මුහුණට දමාගසන සැටියකි.

…..යන්නැද්ද තාත්තේ
අද ලයිට් දාන්නට
කළුවරයි මුළු පාරම
මට බයයි තනියම ඉන්නට
වීදි ලාම්පු එළියෙන් පාඩම් කරන පැල්පත් දියණියකගේ වචනය.

සමාජ යථාර්ථයේත් – කවියේත් සංයෝගය නිපදවන රසායන විද්‍යාව මොන වගේ දැයි තරුණ කවීන්ට බුද්ධිගෙන් උගත හැකිය.

…..කන්තෝරු දුම්රියේ
හඬ ඇසෙන්නේ
කාන්තා මැදිරි දෙකතුනේ
පමණක්ද?

ගැහැනිය නම් කතා කිරීමක්මය. කතා කිරීමක්මය. කතාව නැවතුන දාට ඈ නැත. ඇගේ කතා මිහිතලය සංගීතවත් කරන බව බුද්ධි කියන සැටි!

‘මාලගිරවී’ යන කවිය බුද්ධිගේ නිදහස් චින්තනයේ දේදුනු පාටින් වර්ණවත් වූවකි.

එම් එස් ප්‍රනාන්දුගේ බයිලාව
ඉන්න මාල ගිරවී
අහන්නෙ ඇයි මගෙන්
කූඩුවෙ දොර ඇරියොත් හෙම
දාල යනව නේද කියල
ආකාසෙ පුරා නිදහසේ පියාඹන්න
ඔව්. මම ඉගිල්ලිලා යනවාමයි.

බුද්ධිගේ මේ කවිය මායා ඇන්ජලෝ කළු ඇමරිකානු කිවිඳියගේ

…..සිරගත කුරුල්ලා ගයන්නේ
නිදහස වෙනුවෙන්ය.
කවියට නොදෙවැනි වෙයි.

…..මා විසාල සමාජයක්
සමග
ජීවත්වන කුඩා මිනිසෙකි

බුද්ධි එක් කවියක එසේ ලියා ඇත. අපට නම් කියන්න ඇත්තේ මෙයයි.

ඔබ නම්
විසල් සමාජයක
විසල් මිනිසෙක්ම ය
අපට කියා දෙන්නේ
ඔබේ ම කවියයි!

පරාක්‍රම කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment