දැඩි හිරු රශ්මියත්, කර්කෂ පොළවත් සමඟ සටන් වදිමින් ජීවිතය ජය ගන්නට වෙරදරන උතුරුකරේ ගොවි ජනතාවගේ හිතට සිසිලක් ගෙන එන්නට සම්පත් බැංකුව පසුගියදා කටයුතු කරන ලදී. ඒ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව කිඩාච්චුරි වැව කෘෂිකර්මාන්තයේ අස්වනු සරු කර ගැනීමට අවැසි දියවර සපයා ගැනීම සඳහා ගොවි ජනතාව වෙත පවරා දෙමිනි. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අලෙවි හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා, ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා, වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා, නියෝජ්‍ය කොමසාරිස් බී. තේවරදන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කණ්ණගි ගොවි සංවිධානයේ නිලධාරීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

අපේම සම්පත් තුළින් දැයේ ආර්ථිකයට සුවිසල් දායකත්වයක් දැක්වීම වෙනුවෙන් දහදිය හෙලන උතුරු පළාතේ ගොවි ජනතාව මිරිස්, ලූණු, අර්තාපල් වැනි අත්‍යාවශ්‍ය ආහාරයන් මෙරට ජනතාව වෙත සපයනු ලබන්නේ දේශීයත්වය ප්‍රමුඛ කොටගත් කෘෂි ආර්ථිකයට සවිමත් අත්වැලක් සපයමිනි. ඉන් නොනැවතී විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව අක්කර ගණනාවක් පුරා විහිදුණු කූඹුරු යායන් අස්වද්දමින් දැයේ කුසගිනි නිවන්නට සිය දහදිය හෙලන උතුරු පළාතේ වවුනියාව ගොවි ජනතාවගේ අවශ්‍යතාවන් මනාව හඳුනාගත් සම්පත් බැංකුව කිඩාච්චුරි වැව ප්‍රතිසංස්කරණය සඳහා පියවර ගත්තේ වැවට ජීවයක් තුළින් ජීවය ලබන උතුරු පළාතේ පළමු වාරි ව්‍යාපෘතිය මෙන්ම වැවට ජීවයක් තුළින් ප්‍රතිසංස්කරණය වන 20 වැනි වාරි කර්මාන්තය සනිටුහන් කරමිනි.

උත්සාහය හා අවශ්‍යතාවය කෙතරම් වුවද තමන්ට යල, මහ දෙකන්නයම රිසි සේ අස්වද්දන්නට අවැසි දියවර සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසාම ඉච්චන්කුලම් ගොවි ජනතාවට සිදු වූයේ සුවිසල් ප්‍රදේශයක් පුරා විහිදුණු අරාජික කිඩාච්චුරි වැව දෙස බලා සුසුම් හෙලීමට පමණි. වසරකට එක් කන්නයක් වගා කොට දිවි සරිකරගත් ඔවුන් සිය කණ්ණගි ගොවි සංවිධානය යටතේ වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් විවිධ ආයතනයන්ගේ පිහිට පතන්නට වූහ. සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ වැඩසටහන සඳහාද ඔවුන් සිය අවශ්‍යතාව යොමු කරනු ලැබුවේ ඒ අනුවය. ගොවි ජනතාවට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට වඩා හොඳ හෙට දවසක් උදා කිරීම මෙන්ම අභාවයට යමින් පවතින ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තයේ වාරි සංස්කෘතිය යළි නඟා සිටුවීම අරමුණු කොට ගනිමින් ආරම්භ කරනු ලැබූ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වවුනියාව, ඉච්චන්කුලම්, කිඩාච්චුරි වැව ප්‍රතිසංස්කරණය සඳහා සම්පත් බැංකුව පියවර ගනු ලැබුවේ ඒ අනුවයි.

advertistmentadvertistment
advertistmentadvertistment