මහ බැංකුවේ නව තීරණයෙන් කෝටි 20,000ක් මුදල් වෙළෙඳපොළට

219

වාණිජ බැංකු තමන් සතු තැන්පතුවලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය (ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය) අගෝස්තු 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.

මේ තීරණයත් සමග දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රු. කෝටි විසිදහසක මුදල් ප්‍රමාණයක් මුදාහැරීමට අපේක්‍ෂා කරන බව මහ බැංකුව කියයි.

මහ බැංකු මුදල් මණ්ඩලයේ පෙරේදා (08) දින පැවැති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව (මුදල්) සැපයීම සහ වෙළෙඳපොළ මුදල් (ද්‍රවශීලතා) හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බවද මහ බැංකුව කියයි.

මේ තීරණය නිසා වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමටත්, ආර්ථිකයට ගලා යන ණය ප්‍රමාණය වැඩි කිරීමටත් හැකිවනු ඇති බවද මහ බැංකුව කියයි.

මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීමේ වාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රමාදයකින් තොරව සිය ගනුදෙනුකරුවන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පෙන්වා දෙයි.

මහ බැංකුව වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව අධීක්‍ෂණය කරමින් අවශ්‍ය වුවහොත් වෙළෙඳපොළ ණය අනුපාතික අඩුවීමේ ශීඝ්‍රතාව තහවුරු කිරීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලබනු ඇතැයි මහ බැංකුව තවදුරටත් අවධාරණය කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment