“ඒක සංස්කරණය කරලා” හඬපට හුටපටෙන් දිල්රුක්‍ෂි ඩයස් නිදහස්

342

රටේ ආන්දෝලනයක් ඇති කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හා ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාපති අතර සිදුවූ බව කියන සංවාද හඬපටය සංස්කරණය කරන ලද්දක් බවට තීරණය කර දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම තීරණය කර තිබේ.

2019 වසරේදී හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම වසරේ සැප්තැම්බර් මස 24 දා හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය තාවකාලිකව වැඩ තහනමකටද ලක්කරන ලදී.

අනතුරුව හඬපටය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම් කළ මොරටුව විශ්වවිද්‍යාලයට සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව ලබාදුන් වාර්තාවන් පදනම් කරගෙන සියලු චෝදනාවලින් ඇය නිදොස් කොට නිදහස් කර තිබේ. එම පරීක්‍ෂණ වාර්තාවල සඳහන්ව ඇත්තේ එම දෙදෙනා අතර සිදුවූ බව සඳහන් දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බවයි.

මෙම සිදුවීම එකල දේශපාලන වේදිකාවේදී දැඩි කතාබහට ලක්වූ අතර එහිදී දිල්රුක්‍ෂි මහත්මිය ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටියේ සම්පූර්ණ හඬපටය ප්‍රසිද්ධියට පත්කරන ලෙසය. සිද්ධිය වන වකවානුවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියාය.

මේ වනවිට ඇය විශ්‍රාම ගොස් සිටින අතර රාජ්‍ය සේවා කොමිසන් සභාවේ මෙම තීරණයත් සමඟ ඇයට හිමිවිය යුතු හිඟ වැටුප් හා වෙනත් දීමනා ඉදිරියේදී හිමිවීමට නියමිතය.
චමින්ද සිල්වා

ඉර හඳ වගේ සත්‍ය ජය ගත්තා – දිල්රුක්‍ෂි ඩයස් කියයි

සත්‍ය කවදා හෝ ජය ගන්නා බවට මා තුළ තිබූ විශ්වාසය තහවුරු වූවා යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (09දා) පැවසුවාය.

දිල්රුක්‍ෂි මහත්මිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාපති මහතා අතර ඇතිව තිබූ බව කියූ දුරකථන සංවාදය සංස්කරණය කරන ලද එකක් බවට රාජ්‍ය සේවා කොමිසම මගින් තීරණය කර ඇය සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇයගෙන් කළ විමසීමේදී ඇය මෙසේ ද කීවාය.

ඉරයි, හඳයි පවතිනවා වගේ සත්‍ය ජය ගන්නා බව මම දැනගෙන හිටියා. ඔය සිද්ධිය ඇතිවූ අවස්ථාවේ වැඩි පිරිසක් මෙම හඬපටය අසත්‍යක් කියලා කිව්වට පිළිගත්තේ නැහැ. නමුත් සත්‍ය ජයගෙන තියෙනවා. ඒ ගැන මට සතුටුයි. මට වෙච්ච අසාධාරණයට වන්දි ඉල්ලලා මේ වනවිටත් නඩුවක් පවරලා තියෙනවා.

දිල්රුක්‍ෂි ඩයස් මහත්මියට චෝදනා එල්ල කර වැඩ තහනමට ලක්නොවුණා නම් ඇය නීතිපති ධුරය දක්වා ඉහළට යෑමට හැකියාව තිබූ බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය මේ වනවිට ඉන්දියාවට මෙරට ආරණ්‍යගත භික්‍ෂුන් වහන්සේලා සිව්නමක් සහ භික්‍ෂුණින් වහන්සේ නමක් වැඩමවාගෙන ගොස් සිව්පසෙන් සංග්‍රහ කරමින් සිල්සමාදන් වී සිටින්නීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment