රට දැය වෙනුවෙන් උතුම් ශාසනික මෙහෙවරක නිරත මකුරුප්පේ සෝමාලංකාර නාහිමියෝ

204

මහණ දම් පුරමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැපවෙන ගෞරවණීය මහා සංඝරත්නය කෙරෙහි අප තුළ ඇත්තේ දැඩි භක්තියකි. උන්වහන්ස්ලාගේ ආගමික, ශාසනික මෙහෙවර නිසා අප රටේ බුදුදහම තවත් චිරාත් කාලයක් පවතින බවට අපට කිසිදු සැකයක් නැත. එවන් මාහැඟි ශාසනික මෙහෙවරක යෙදෙන යතිවරයාණෝ කෙනෙක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේඛකාධිකාරී, කර්මවාගාචාර්ය මුළු දිවයිනටම සාමවිනිසුරු කිදෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමයේ හෙවත් කිදෙල්පිටිය මහා පන්සලේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර නාහිමියන් හඳුන්වා දිය හැකිය.

රට දැය වෙනුවෙන් උතුම් ශාසනික මෙහෙවරක නිරත මකුරුප්පේ සෝමාලංකාර නාහිමියෝ
පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර නාහිමි  තම ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා සමඟ

කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමය හෙවත් කිඳෙල්පිටිය මහා පන්සල නිර්මාණය කරනු ලැබුයේ දුම්බර සීලක්ඛන්ද මහා ස්වාමීද්‍රයන් වහන්සේ විසිනි. ඒ 1876 වර්ෂයේදීයි. උන්වහන්සේගේ ධෛර්යය, කැපවීම නොවන්නට දැයට, ශාසනයට මෙතරම්ම විශාල සේවාවක් කරන මෙවන් පුදබිමක් ගොඩනැඟෙන්නේ නැත. ගිහියකු විසින් පූජා කළ අක්කර භාගයකට පමණ සීමා වූ මෙම පුදබිමට පසුකාලීනව තවත් අක්කර තුනක භූමිභාගයක් එක්වන්නේ උන්වහන්සේගේ දුම්බර මිටියාවත තිබූ ඉඩම් විකුණා ගත් මුදලිනි. එදවස තරුණ වයසේ පසු වූ දුම්බර සීලක්ඛන්ද හිමියෝ පන්සල ගොඩනැඟීමට අවශ්‍ය ලී පවා තම ගමේ පිහිටි ඉඩම්වලින් කපා ගෙනවිත් තිබේ. එවන් ඓතිහාසික පසුබිමක් ඇති කිඳෙල්පිටිය චේතියාරාමයේ දෙවැනි විහාරාධිපතීන් වහන්සේ බවට පත්වෙනුයේ නාපාන සරණතිස්ස නාමියන්ය. සරණතිස්ස නාහිමියෝ දුම්බර සීලක්ඛන්ද මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ඥාති සහෝදරයෙකි. අනතුරුව වෑවල සද්ධාතිස්ස නාහිමි සහ හඟුරන්කෙත විමල අනුනායක හිමියෝ මෙම පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ලෙස පත්වූහ. මකුරුප්පේ සෝමාලංකාර නාහිමියෝ කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමයේ විහාරාධිපති ධුරයට පත්වෙනුයේ ඉන් අනතුරුවය. ඒ 1997 වර්ෂයේදීය

 හඟුරන්කෙත වදවල ශ්‍රී විමලාරාමයේදී 1974 වර්ෂයේ ජුනි 26 වැනිදා පැවිදිබිමට පැමිණි උන්වහන්සේට ගුරුදේවයාණන් වහන්සේලා තිදෙනෙකි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය උපාධ්‍යාය අතිගරු හඟුරන්කෙත ශ්‍රී විමල අනුනායක ස්වාමීන් වහන්සේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරන්ධර ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී සෝරත මාහිමිපාණන් වහන්සේ සහ නුවරඑළිය මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරන්දර විනයාචාර්ය ධර්මකීර්ති ශ්‍රී හඟුරන්කෙත ඥානාලෝක මාහිමිපාණන් වහන්සේ අප මහා නාහිමිපාණන්ගේ ගුරු දේවයන් වහන්සේලා වෙති.

 අප නාහිමියෝ පැවැදිබිමට පැමිණීමට පෙර මූලික අධ්‍යාපනය ලැබුවේ දිඹුල්කුඹර රජයේ විiාලයනි. වයස අවුරුදු 13 දී කුලකුමරුවකු ලෙස බණ දහම් ප්‍රගුණකරමින් සිටි මෙම කුල කුමරුවා 1974 දී මකුරුප්පේ සෝමාලංකාර නමින් පැවිදිබිමට පිවිසියේය. අනතුරුව මකුරුප්පේ සෝමාලංකාර හිමියෝ කිදෙල්පිටිය ශ්‍රී සීලිස්කන්ද පිරිවෙනෙන් මූලික අධ්‍යාපනයද, හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙනෙන් උසස් අධ්‍යාපනයද හැදෑරූහ. අනතුරුව කැලණිය විශ්වවිiාලයෙන් බෞද්ධ දර්ශනය, සංස්කෘතිය ද ඇතුළත්ව විශේෂ ශාස්ත්‍රපති උපාධියද ලබාගත් උන්වහන්සේ එම විiාලයෙන්ම ජපන් භාෂාවද වැඩිදුර හදාළහ. පසුකාලීනව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත් උන්වහන්සේ කැලණිය විශ්වවිiාලයට අනුබද්ධිත පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගත්හ. ඊට අමතරව උන්වහන්සේ කොළඹ විශ්වවිiාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබාගෙන තිබේ.

 සිය අධ්‍යාපන කටයුතුවලින් පසුව තමන්ගේ කාලය දැයේ දුවා දරුවන්ගේ ණැනස පෑදීම වෙනුවෙන් වෙන් කළ අයුරු උන්වහන්සේ මෙසේ සිහිපත් කළහ.

 ‘මට මුලින්ම පත්වීම ලැබුණේ රත්නපුර ඇඹිලිපිටිය කලාපයේ පනාමුර පර්ශද මූලස්ථ විiාලයට. ඒ 1985 වර්ෂයේදී. අනතුරුව 1989 දී බණ්ඩාරගම මධ්‍ය මහා විiාලයට පත්වීමක් ලබනවා. බණ්ඩාරගම විiාලයට ආචාර්යවරයෙක් ලෙස එක්වූ මම 1992 වර්ෂයේදී එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස පත්වෙනවා. 2015 වර්ෂයේදී පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස එම විiාලයේම විදුහල්පතිවරයා ලෙස තේරී පත් වෙනවා. මගේ ජීවිතයේ හොඳම කාලය දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපකිරීමට ලැබීම ගැන මට ඇත්තේ තෘප්තියකි.

 උන්වහන්සේ මේ වනවිට ගුරුවරයකු, විදුහල්පතිවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතයට විශ්‍රාම ලබාදී තිබුණද උන්වහන්සේ විසින් සිදුකරනු ලබන ආගමික ශාසනික මෙහෙර තවදුරටත් කරගෙන යනු ලැබේ. මේ උන්වහන්සේ ඒ පිළිබඳව කළ සිහිපත් කිරීමයි.

 ‘කිදෙල්පිටිය මහා පන්සල මගින් පවත්වාගෙන යනු ලබන සද්ධාතිස්ස දහම් පාසල ආරම්භ කළේ 1975 වර්ෂයේදීයි. බණ්ඩාරගම ශාසනාරක්ෂක මණ්ඩලයේ වැඩිම සිසු පිරිසක් දහම් අධ්‍යාපනය ලබන්නේ අපේ දහම් පාසලෙන්.

 2002 වර්ෂයේ සිට අප දායකයන් ඒකරාශී කරගෙන ධර්ම සාකච්ඡාවන් මාසිකව පවත්වනු ලැබුවා. ඒ වගේම තමයි ගර්භණිී මාතාවන්ට ආශිර්වාද පූජාවක් මාසිකව පැවැත්වීමටත් කටයුතු කළා.

 අප පන්සලට අනුබද්ධව ‘ශ්‍රී ධර්මදීප පදනම’ නමින් සංවිධානයක් ක්‍රියාත්මක වෙනවා. එම සංවිධානයයෙන් ලංකාවේ ප්‍රසිද්ධ ධර්ම කථික ස්වාමීන් වහන්සේලා ගෙන්වා ධර්මදේශනා පවත්වනවා. ඒ වගේම තමයි සෑම මසකම දෙවැනි ඉරිදා භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. වාර්ෂිකව ලේ දන්දීමේ කටයුත්තක්ද අප විසින් සිදුකරනු ලැබුවා. ඒ වගේම තමයි දහම් පාසලට සම්බන්ධ ‘ආදි සිසු පවුර’ මගින් දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන්ට පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. වස් කාලයේදී ගමේ ඉන්න වයෝවෘද්ධ අයගේ නිවෙස්වලට ගොස් පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීමේ පිංකමක්ද අප විසින් සිදු කරනු ලබනවා. ‘අරමින් ගමට’ කියලා තවත් පිංකමක් සිදුකරනු ලබනවා. ඉන් සිදුකරන්නේ ධාතු කරඬුව ගමට වැඩමවා පිරිත් දේශනා කර ආශිර්වාද කිරීමයි. හය පේරුවේ දායකයන් නියෝජනය වන අයුරින් මෙම පිංකම් සංවිධානය කෙරෙනවා. පසුගිය කොරෝනා කාලයේදී ඇතිවූ සමාජ දුරස්තභාවය නිසා අපට මේ කටයුතු තාවකාලිකව නතර කරන්න සිදුවුණා. නමුත් ඉදිරි කාලයේදී මෙම සත්ක්‍රියාවන් යළි ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

 අගනා උතුම් ආගමික ශාසනික මෙහෙවරක නිරතව සිටින මකුරුප්පේ සෝමාලංකාර හිමිපාණෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ උපසම්පදාකාරක සභාවේ කර්මවාගාචාර්ය ස්වාමීන් වහන්සේ ලෙසද කටයුතු කරති. උන්වහන්සේ එම සංඝ සභාවේම උපසම්පදා ලේඛකාධිකාරී ලෙස ද කටයුතු කරයි. අරුක්ගොඩ ඉන්දසරාරාම මහ විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය හොබවන උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිiාලයේ ‘දහම් සරසවියේ’ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරති. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චකාරක සභාවේ සාමාජිකයකු වන අප නාහිමියෝ මේ වනවිට හෙරලියාල පුරාණ විහාරස්ථානයේ සහ කඩුවෙල මාලඹේ ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ලෙස ද කටයුතු කරති.

 එදා මෙදා තුර මුළු ජීවිත කාලයම බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපකර සිටින පූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර නාහිමියෝ මේ වනවිට ශාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා පැවිදි ශිෂ්‍ය පරම්පරාවක්ද බිහිකර ඇත. උන්වහන්සේට තවදුරටත් මෙම ආගමික ශාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යෑමට ශක්තිය, ධෛර්ය වාසනාව,

 නිරෝගිභාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

වසන්ත ලියනගේ
 ඡායාරූප – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment