ව්‍යාපාර මගින් ජය ලැබීමට නම්…..

186

ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී ඔබට නොයෙකුත් තත්ත්වයන්වලට මුහුණ පාන්නට සිදුවනු ඇත. එනම් සමහර ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්වනු දැකිය හැකි වන අතර තවත් ව්‍යාපාරයන් නොසිතූ අවස්ථාවක අසාර්ථක වනු දැකිය හැකිය. බොහෝ දෙනෙකු ජ්‍යොතිෂය මගින් සරණක් පැතීමට පැමිණෙනු ලබන්නේ ව්‍යාපාර කටයුතු අඩාල වූ පසුව වේ. නමුත් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර, සලකා බැලිය යුතු කාරණා කීපයක් වේ. එනම් ඔබට ව්‍යාපාර මගින් ලාභ ලැබීමේ වාසනාව තිබේ ද? එසේ තිබේනම් ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළයුතු කාලවකවානු මොනවා ද? ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී වරින් වරි ඇතිවන අශුභ කාලයන්වල ව්‍යාපාර කටයුතු අඩාල වීම් හා ඒවාට කළයුතු පිළිවෙත් මොනවා ද? යන්නත්, ඔබට දියුණුව ඇත්තේ කුමන අංශයට අදාළ ව්‍යාපාරයක් මගින් ද යන්නත් දැන හඳුනාගෙන ව්‍යාපාරයකට අවතීරණය වන්නේ නම් ඔබට මුහුණපාන්නට වන අවදානම අවම කර ගතහැකි වේ. ඉහත කාරණා කල්තියා දැනගත හැකි වන්නේ ජ්‍යොතිෂය මගින් පමණි.

මෙහිදී ප්‍රධාන වශයෙන් කිවයුත්තේ ව්‍යාපාර යනු සෑම පුද්ගලයෙකුට ම කළ හැකි දෙයක් නොවන බවයි. එනම් ව්‍යාපාරයක් කිරීමේදී හැකියාව, දක්ෂතාව, අවදානම් කළමනාකරණය හා ලාභ ඉපයීම ආදිය සෑම කෙනෙකුට ම කළ නොහැකි දෙයකි. එම හැකියාව “ව්‍යවසාය හැකියාව” ලෙස හඳුන්වයි. එනම් සම්පත් උපයෝගී කරගෙන නිෂ්පාදනයක් කිරීම, අතරමැදිකරණය, අලෙවිය, මූල්‍යය පාලනය, සේවකයන් පාලනය කිරීම, ව්‍යාපාරයට බලපාන්නාවූ අභ්‍යන්තර හා බාහිර සාධකයන් හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීම අවදානම කළමනාකරණය කර ගැනීම ආදී කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගතයුතුය. ව්‍යවසායකයන්හට අධ්‍යාපනය තුළින් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර ගතහැකිය.

රුපියල් කෝටි ගණනින් ප්‍රාග්ධනය යොදා ආරම්භ කරන නව ව්‍යාපාර සුලුකාලයකින් අසාර්ථක වන අවස්ථා බොහෝ දක්නට ලැබෙන අතර පදික වේදිකාවක භාණ්ඩ විකුණන සුළු වෙළෙන්දකු මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණුවෙන් දියුණුවට පත්වන අවස්ථා ද නැතුවා නොවේ. ව්‍යවසාය හැකියාව ජන්ම පත්‍රයට අනුව තීරණය කළ හැකිය. එම හැකියාව කුමන අංශයකින් ප්‍රතිඵල දායක වන්නේද යන්න තීරණය කළ හැකිය. එනම් ඒ සඳහා සුදුසු කාලය එනම් ලාභ අලාභ සිදුවන කාලය ව්‍යාපාරයට බාහිර බලපෑම් ඇතිවන කාලය ආදී යහපත් මෙන්ම අයහපත් කාලපරිච්ඡේදයන් මෙම කේන්ද්‍ර සටහන් මගින් හඳුනාගත හැකිය. මෙම විෂය තුළින් දැන පවත්වා ගෙන යන ව්‍යාපාරයක අවදානම කළමනාකරණය කර ගැනීමටත් ඉදිරියේදී ආරම්භ කරන ව්‍යාපාරයක් ප්‍රතිඵලදායක ආකාරයට නිර්මාණය කර ගැනීමටත් හැකිවනවා ඇත. මෙහිදී සුළුස්වයං රැකියාවක සිට ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරයක් දක්වා “ව්‍යාපාර” යන්න පුළුල් වේ.

මෙහිදී ව්‍යවසායකත්ව හැකියාව නිර්මාණය කිරීම සඳහා ලග්නාධිපතියාගේ ලග්නයේ බලපෑම එය ක්‍රියාත්මක වීම 10 වැන්න හා 10 වැන්නාධිපතියාගෙන් තීරණය කළ යුතුවේ.

මෙහිදී පංච මහා පුරුෂ යෝග යෙදී ඇත්නම් භාවයට අනුරූපීව එම යෝගයන් අංශකයෙන් (නවාංශකයෙන්) ප්‍රබල නම් ස්ථිර වශයෙන්ම මනා කළමනාකාරී හැකියාව පිහිටයි. මෙහිදී ධනය සම්බන්ධයෙන් කියවෙන 2, 11 ග්‍රහ පිහිටීම් අධිපතියන් බලවත්ව පිහිටීම තුළ මහා ධනවතෙක් බිහිකරන ව්‍යවසායකයෙක් බිහිවේ. 7 වැන්න, 11 වැන්න හා එම අධිපතීන් ප්‍රබල වීම තුළ ව්‍යාපාරය හවුල් පාර්ශ්වයන් සමග කිරීම තුළින් ද 4 වැන්න, 4 වැන්නාධිපතියාගේ පිහිටීම තුළින් ද (බලවත්වීම) පරම්පරාගත ව්‍යාපාරයකට එනම් උරුමයෙන් ලැබෙන ව්‍යාපාරයකට හිමිකම් කියයි.

රවි, කුජ, චන්ද්‍ර, නීච වීම හා ඉහත සඳහන් කළ ස්ථානයන්හි ධනයට අදාළ ග්‍රහයකු ප්‍රබල වීම තුළින් ඔහු තුළ ධනය රැස්කිරීමේ ආශාව හා එය ළඟා කර ගැනීමට තිබිය යුතු උපායශීලී බව තිබේ. එසේම ගුරුගේ ප්‍රබලතාවය මත කේන්ද්‍රහිමියා ව්‍යවසායකයෙක් උවහොත් දන්දීම, සේවකයන්ට හොඳින් සැලකීම ආදී ධාර්මිෂ්ට ආකාරයට ව්‍යාපාර කටයුතු සිදුකරයි. එසේම 12 වැන්නාධිපතියාගේ ප්‍රබලතාවය මත ව්‍යාපාරය විදේශයන් සම්බන්ධ කරගෙන සිදුකිරීම තුළන් මහත් ධනයක් ඉපයිය හැකිය. (ආනයන, අපනයන) මෙම ව්‍යාපාර කුමන ක්‍ෂේත්‍රය සම්බන්ධව කිරීමට සිදුවේද යන්න ඉහත සඳහන් කළ ග්‍රහයන්ට සමගාමීව ප්‍රකාශ කළ හැකිය.

එනම් හෝටල්, සංචාරක, ආහාර පාන ආදී ක්‍ෂේත්‍ර සඳහා සඳු සිකුරු ග්‍රහයන් ද ඖෂධ, රෝහල්, සනීපාරක්‍ෂක ද්‍රව්‍යය ආදිය සඳහා රවි, සඳු, ගුරු ප්‍රධාන කරගෙන ද ඉදිකිරීම් ක්‍ෂේත්‍රය කුජ, ශනි, ප්‍රධාන කර ගෙන ද වස විෂ මත්පැන් හා මස් මාංශ සම්බන්ධ ව්‍යාපාර කුජ, රාහු මුල්කරගෙන ද, ඇඳුම් පැලඳුම් සුවඳ විලවුන්, මැණික් ස්වර්ණාභරණ ආදිය සිකුරු හා ගුරු ග්‍රහයන් මුල්කරගෙන ද අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම දේ සම්බන්ධ ව්‍යාපාර ගුරු, බුධ ග්‍රහයන් මුල්කරගෙන ද පස් වැලි ගල් කාර්මික උපකරණ දැව ආශ්‍රිත උපකරණ ආදී ව්‍යාපාර කුජ හා ශනි ග්‍රහයන් මුල්කර ගෙන ද රථ වාහන යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ ව්‍යාපාර සඳහා කුජ ග්‍රහයා ද ඉඩම්, දේපළ, නිවාස ආදී දේ සම්බන්ධ ව්‍යාපාර කුජ, ගුරු යන ග්‍රහයන් ප්‍රධාන කරගෙන ද තමාගේ ජන්ම පත්‍රයට ගැළපෙන ව්‍යාපාර අංශය තෝරාගත හැකිය.

ඉහත ග්‍රහයන්ට අදාළව ග්‍රහයන්ගේ භාවය නිශ්චිත කිරීමෙන් හා රාශි නවාංශකය නැකත ආදිය සූක්‍ෂමව ලෙස පරීක්‍ෂා කිරීම තුළින් (භාව කේන්ද්‍ර සංකල්පය) ඔබට ව්‍යාපාරයක් කිරීමට හැකියාවක් තිබේ ද? එය කුමන ක්‍ෂේත්‍රයට අදාළ ද එසේම දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය සාර්ථක කරගත හැකි ආකාරයක් ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් ආදිය පිළිබඳව ජ්‍යොතිෂයට අනුව තීරණය කළ හැකිය.

ව්‍යාපාර මගින් ජය ලැබීමට නම්…..

විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී
ගෝඨාභය මුදලිගේ
071 8544625/071 8602525

advertistmentadvertistment
advertistmentadvertistment