අවිශ්ක ප්‍රනාන්දු 150 යි

410

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 205 කදී ලකුණු 150 ක් ලබා ගනිමින් කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව ඊයේ (09 වැනිදා) දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 287 ක් දක්වා ඉහළ දැමීමට සමත් වූයේය.

ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර ඊයේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමග ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු දිනයේ අවසන් කඩුල්ල ලෙස දැවී ගිය අතර දිමුත් කරුණාරත්න කවිශ්ක අංජුල ගේ පන්දුවක් හමුවේ ලකුණු 4 කට දැවී ගියේය.

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නිසල තාරක ලකුණු 55 ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 13ක් ද ලබා සිටි අතර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කවිශ්ක අංජුල කඩුලු 2ක් බිඳ හෙළීය. රමේෂ් මෙන්ඩිස්, සංගීත් කුරේ, අසංක මනෝජ් සහ මොහොමඩ් සිරාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත් වේ.

අශාන් වික්‍රමසිංහගෙන් ද ශතකයක්

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ යාපනය කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමාවන විට යාපනය කණ්ඩායම ලකුණු 172ක් පසු පසින් සිටියේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම වෙනුවෙන් අශාන් වික්‍රමසිංහ ලකුණු 101ක් ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 40 සීමාවට හෝ ළඟා වීමට යාපනය පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

අශාන් වික්‍රමසිංහ පන්දු 108කදී එම ලකුණු ප්‍රමාණය ලබාගත් අතර පන්දු යැවීමේදී ශසික දුල්ෂාන් කඩුළු හතරක් සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේය.

නුවර කණ්ඩායමේ ලකුණු 265 ට පිළිතුරු ලෙස පන්දුවට පහර දෙන යාපනය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු තුනක් දැවී ලකුණු 93ක් ලබා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment