අන්නාවිරාළ

42

අන්නාවි තැන හැටියට මගේ රාජකාරිය බැරෑරුම්ය. දිව්‍ය පූජාවට අල්තාරය සැකසීමේ සිට පල්ලියේ දොරවල් වැසීම දක්වා ම අයිති සියලු වැඩ මට භාරයි. මේ සියල්ල කළත් පල්ලි එන අයගෙන් සමහර වේලාවට අසනා බැනුම් ද නැතුවාම නොවේ. ඒවා මට පුරුදුයි. කේන්ති නොගනිමි. පියතුමාගේ පවතින ඉවසීම අන්නාවි වශයෙන් ජේසු මට ද දී තිබේ. ඒ ගැන ස්තුතියි ස්වාමිනී,

කොහොම වුණත් පල්ලි එන අයගේ ද වැරදි නැතුවාම නොවේ. පූජාව ඉතාම භක්තිවන්ත මොහොතකි. ඊට ඒ අයගේ ප්‍රතිචාරය ද භක්තියෙන්ම විය යුතුය. ඒත් දෙවියනේ ! ඇතැම් අය පූජාව වේලාවට ජංගම දුරකථනය බලනවා. බොහෝ වේලාවට මේ දේ කරන්නේ එළියේ සිට පූජාව අසනා අයයි. සමහරු කතාවේ යෙදී සිටී. මේවා වැරදි ක්‍රියාය.

සමහරක් පූජාවට වේලාවට එන්නේ නැත. එය වේලාවට පැමිණි අයට බාධාවකි. ඇතැම් අය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමට අල්තාරය දෙසට එන්නේ හදිසි ගමනක් යන අටියෙනි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගෙන නැවත යන්නේ ද විනෝද ගමනක් ගොස් නැවත එන ආකාරයටය. මේවා මා බලා සිටින්නේ දුකෙනි.

තවත් අය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමෙන් පසු පල්ලියෙන් පිටව යති. ඇතැම්හු අවසාන නිවේදනවත් නොඅසා පිටව යති. මේවා දෙස ද මා බලා සිටින්නේ වික්‍ෂිප්තවය. මේ වැනි දේ තව බොහෝ සිදුවේ. යහපත් ක්‍රියා ද සිදු නොවෙනවාම නොවේ. ඒවා අපි ඉදිරියට කතා කරමු. කොහොම වුණත් පල්ලිය, එහි භූමිය ශුද්ධ වන්තය. ඊට අනුරූපීව අපි හැඩගැසෙමු. පල්ලිය යනු යාච්ඤාවේ ගෘහයකි. ඒ තුළ සිට යදින්නන්ගේ යැදුම්වලට බාධා වන පරිදි කිසිවකුවත් ශබ්ද කළ යුතු නැත. මුළු කාලය පුරා ම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ජීවමාන ජේසු තුළින් වැඩ හිඳිනා නිසා සැමගේ නමස්කාරය ඊට යොමු විය යුතුය. පල්ලිය තුළ වන්දනාවෙන් පසුවීම අත්‍යවශ්‍යය.

මීසමේ ඔබ සැමට ජේසු පිහිටයි. පල්ලියේ අන්නාවි නැත.

ලබන සතියේත් අපි කතා කරමු.

ලයනල් පී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment