නව විදුලි සබඳතා දීමේදී ලෙකෝට වඩා ලංවිම රු. 4000ක් වැඩිපුර අරන්

40

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

නව විදුලි සබඳතා ලබා ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලය ලෙකෝ (විදුලි පුද්ගලික සමාගමට) ආයතනයට වඩා වැඩිපුර රුපියල් හාරදහසක මුදලක් ගිය වසරේදී අය කරගෙන ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මෙසේ මුදල් අය කිරීම මංකොල්ලයක් යැයිද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී ඊයේ (15 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ වසරේදී ලෙකෝ ආයතනයට වඩා රුපියල් දසදහස් නවසියයක මුදලක් නව විදුලි සම්බන්ධතා ලබා ගැනීමේදී අය කිරීමට විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙය වැළැක්වීමට මහජන උපයෝගිතා කොමිසම වහාම මැදිහත් විය යුතු යැයිද හෙතෙම පැවසීය.

සංජීව ධම්මික මහතා මෙසේ ද කීවේය.

2023 දී නව විදුලි සම්බන්ධතාවක් නිවසකට ලබා ගැනීමේදී ලෙකෝ ආයතනය අය කළේ රු. 45500යි. නමුත් විදුලිබල මණ්ඩලයේ ඒ වසරේදී රු. 49500 ක් අය කළා. මේ විදියට මුදල් හූරගෙන කන්න ලංවීමට අයිතියක් නෑ. ස්වාධීන ආයතනයක් වන මහජන උපයෝගිතා කොමිසම මීට ඉඩදීම පුදුමයට කරුණක්.

2024 වසරේදී සංශෝධිත මිල ගණන් අනුව විදුලි සම්බන්ධතාවයක් ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය රු. 45500ක් අය කිරීමට සැලසුම් කර ඇති බවට නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ අපිට වාර්තා වෙනවා. නමුත් ලෙකෝ ආයතනය මේ වසරේදී අය කරන්න හදන්නේ රුපියල් 34600යි. තාම මේකට මහජන උපයෝගිතා කොමිසමේ නිල අනුමැතිය ලැබිල නෑ. අපි කියන්නේ ලෙකෝ එකට වඩා ලංවිම අය කරන ගාස්තු අඩු විය යුතු බවයි. මේ ගැන මහජන උපයෝගිතා කොමිසම වහාම අවධානය යොමු කළ යුතුයි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment