ෂකීබ් මැතිවරණයෙන් ජය ගනී – ඡන්දය දවසෙත් නොසන්ඩාල කමක්

560

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂකීබ් අල් හසන් පෙරේදා (07 වැනිදා) පැවති එරට මහා මැතිවරණයේදී ඡන්ද 185,388ක් ලබා සිය ආසනය ජය ගැනීමට සමත් වී තිබේ.

මගුරා – 1 අසුන සඳහා පාලක අවාමි ලීග් පක්ෂයෙන් තරග කළ ෂකීබ් එම අසුන සිය ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජය ගෙන ඇති බවද වාර්තා වේ.

මෑතකාලීනව බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද තෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ෂකීබ් අල් හසන් ඉතිහාසයට එක්වන අතර, මීට පෙර මෂ්රාෆෙ මොර්ටාසා සහ ටමීම් ඉක්බාල් ද පාර්ලිමේන්තුවට පිවිස සිටියහ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉක්මනින් කිපෙන සුළු හා ක්‍රීඩකයන් හා විනිසුරුවරුන් සමග නිතර වාදවලට පැටලෙන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ෂකීබ් පෙරේදා මහ මැතිවරණ ඡන්ද මධ්‍යස්ථානයකදී සිය රසිකයෙකුට වේගවත් කම්මුල් පහරක් එල්ල කර ඇති බවද වාර්තා වේ.

ඡන්දය භාවිත කිරීම සඳහා ෂකීබ් ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු වටා එක් රොක්වූ සිය රසිකයන් අතරෙන් අයෙකු අහම්බෙන් ඔහුව තල්ලු කිරීම හේතුවෙන් කුපිත වූ ෂකීබ් මෙසේ අදාළ පුද්ගලයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර ඇති බව සමාජ මාධ්‍ය ජාලාවල මෙම දිනවල වේගයෙන් හුවමාරු වේ.

නියමිත වේලාවට සිය කඩුල්ල වෙත ළඟා නොවීමේ වරදට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටයිම් අවුට් ක්‍රමයට ලොව ප්‍රථම වරට දවා ගැනීමට කටයුතු කළේද ෂකිබ් අල් හසන් ය.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment