මහාරාස්ට්‍ර පිටියේ සටනක් නැති ජයක් ලියැවේ

1034

සටනක් දිය හැකි තරමේ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් විසින් ලකුණු පුවරුවට එකතු නොකිරීමේ ප්‍රතිඵලය මත මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම වූයේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ( මහාරාස්ට්‍ර) ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා ) පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 241 ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්තානුවෝ කඩුලු‍ 3ක් දැවී ජයග්‍රහණය ලබා ගත්හ.

එම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හය වන ස්ථානය දක්වා පහත ගිය අතර ඇෆ්ගනිස්තානය පස් වෙනි ස්ථානය දක්වා ඉහළ නැග්ගේය.

මහාරාස්ට්‍ර පිටියේ සටනක් නැති ජයක් ලියැවේ

තරගයේ ජයග්‍රහණය හඹා ගිය ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු පන්දු වාරයේ හතර වැනි පන්දුවේදී ම රහමනුල්ලා ගුර්බාස් ගේ කඩුල්ල දවා ගැනීමට ඩිල්ශාන් මධුසංඛ සමත් වූවද එය ඇෆ්ගනිස්තානය ට එතරම් ලොකු බලපෑමක් නොවූයේය. අනතුරුව ලකුණු 39 ක් ලබා සිටි ඉබ්‍රාහිම් සර්ධාන් ගේ කඩුල්ල ද ඩිල්ශාන් සිය නම ඉදිරියේ සටහන් කර ගත් අතර අර්ධ ශතකයක් ලබා සිටි රහමට් ශා කසුන් රාජිත ගේ පන්දුවකට දැවී ගියේය. එහෙත් ඇෆ්ගනිස්තාන ඉනිමට තවත් අර්ධ ශතක දෙකකින් දායකත්වය දුන් අශ්මටුල්ලා ඔමර්ශායි සහ හෂ්මතුල්ලා ශහීඩි මෙවර තරඟාවලියේ සිය තෙවැනි ජයග්‍රහණය ඔවුන් ගේ නම ඉදිරියේ සටහන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියහ. තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඊට සාධාරණයක් එක් කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ කටයුතු කළහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 15 කට දවා ගැනීමට ෆසල්ලාහ් ෆරූකී සමත් වූයේය.කුසල් ජනිත් අසාර්ථක වීම මත දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැදවන ලද නමුත් ඔහු ගෙන් ද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ සේවය ඒ අනුව ඉටු නොවිණි. තරඟාවලියේ තම පස් වැනි අර්ධ ශතකය කරා පිය නගමින් සිටි අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 46 දී අවාසනාවන්ත ලෙස අශ්මටුල්ලා ඔමර්ශායි ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඒ වනවිට පන්දු 60 කට මුහුණ දී තිබුණු පැතුම් හතරේ පහර 5 ක් එල්ල කර තිබූ අතර ඔහු ගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම වෙත යළි පීඩනය ගෙන දෙමින් නායක කුසල් මෙන්ඩිස් ගේ කඩුල්ල දවා ගැනීමට මුජීබර් රහමාන් සමත් වූයේය. මුජිබර් හමුවේ නජිබුල්ලා අතට පහසු උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවිට කුසල් රැස් කර තිබුණේ ලකුණු 39 කි.

කුසල් සහ පැතුම් දෙදෙනා දෙවෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 62 ක් ශ්‍රී ලංකා ඉනිම ට එකතු කර තිබුණු අතර මුජිබර් රහමාන් ට දෙවෙනි කඩුල්ල ලබා දෙමින් සධීර සමරවික්‍රම ලකුණු 39 කට ගියේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඒ වනවිට සටහන් වූයේ පන්දු වාර 29.1කදී කඩුලු‍ 4 කට ලකුණු 139 ක් ලෙසය.තවත් ලකුණු 41 ක් තුළදී ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක ලකුණු 14 කට සහ 22 කට දැවී යාමෙන් කඩුලු‍ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නැග ලකුණු පුවරුව 180 ක් ලෙස දිස් වූයේය.

සිය 100 වැනි එක් දින ජාත්‍යන්තර තරගයට ඊයේ ක්‍රීඩා කළ රශීඩ් ඛාන් ට සමරු කඩුල්ල ක් ලෙස තම කඩුල්ල ලබා දෙමින් ධනංජය දැවී ගියේ මේ

තරගාවලිය පුරා ඔහු ප්‍රදර්ශනය කළ දුර්වල පිතිහරඹයට තවත් ඉනිමක් එකතු කරමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ එකම හයේ පහරද ඇතුළුව හොදම තෙවැනි කඩුලු‍ සම්බන්ධතාවය වාර්තා කිරීමට මැතිව්ස් ට එක් වූ මහීෂ් තීක්ෂණ සමත් වූයේය.පන්දු 31 කදී ලකුණු 29 ක් ලැබූ තීක්ෂණ එය ඔහුගේ ඉහළම එක් දින ඉනිම බවට පත් කර ගත් අතර මැතිව්ස් රැස් කළේ ලකුණු 23 ක් වුවද එය කණ්ඩායම වැටී සිටි තැනින් නැගී සිටීමට ලබා දුන් මුක්කුවක් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 241 කට සීමා කිරීම සඳහා ෆසල්ලාහ්ක් ෆරූකි ලකුණු 34 කට කඩුලු‍ 4 ක් දවා ගත් අතර මුජිබුර් රහමාන් ලකුණු 38 කට කඩුලු‍ 2 ක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 241/10 (49.3)

පැතුම් නිශ්ශංක 46, දිමුත් කරුණාරත්න 15,කුසල් මෙන්ඩිස් 39 සදීර සමරවික්‍රම 36, චරිත් අසලංක22, ධනංජය ද සිල්වා 14, ඇන්ජලෝ මැතිව්ස් 23,මහීෂ් තීක්ෂණ 29, කසුන් රාජිත 05, දුෂ්මන්ත චමීර 01,ඩිල්ශාන් මධුෂංක නොදැවී 00 අතිරේක 11

පන්දු යැවීම

මුජිබුර් රහමන් 10-38-2, ෆසාල්හක් ෆරූකි 10-34-4, නවීන් උල්හක් 6.3-47-0, අශ්මටුල්ලා ඔමර්ශායි 7-37-1 මොහොමඩ් නබී 6-33-0 රෂීඩ් ඛාන් 10-50-1

ඇෆ්ගනිස්තානය 242/3(45.2)

රහ්මනුල්ලා ගුර්බාස් 00,ඊබ්‍රහිම් සද්‍රාන් 39, රහමට් ෂා 62, හෂ්මතුල්ලා ශහීඩි 58, අස්මතුල්ලා ඔමර්සායි 73 අතිරේක 10

පන්දු යැවීම

ඩිල්ශාන් මධුසංඛ 9-48-2 කසුන් රාජිත 10-48-1 දුෂ්මන්ත චමීර 9.2-51-0 මහීෂ් තීක්ෂණ 10-55-0, ඇන්ජලෝ මැතිව්ස් 3-18-0 ධනංජය ද සිල්වා 4-21-0
කුෂාන් සුබසිංහ පූනේ නුවර මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment