පිටත ගිනි

180

උපදින උපදින හැම ආත්මයකම නිරයේ පැසීමට, ලෝ දිය බීමට, ගිනි අඟුරු පැහැරීමට සිදුවන ජාවාරමක් වන ගැහැනු ළමයින් මුදලට විකිණීමේ බිස්නස් එක මේ ආත්මයේදී වෘත්තීය පිංපියන්ට සංවර්ධන ලොතරැුයියේ පළමු තෑග්ග දහදොළොස් වාරයක් ඇදුනා හා සමානය. පහළොස් හැවිරිදි දැරියක ඇතුළු තවත් තරුණියන් පන්දහසක් පමණ ලංකා ඇඞ්ස් නමැති වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කළ පානදුරේ දුමින්ද සම්පත් නමැති පරිගණක ඉංජිනේරුවාගේ ගිණුම්වල රුපියල් කෝටි පහකට අධික මුදල්ද ඇමරිකානු ඩොලර් දොළොස්දාස් එකසිය අනූ නවයක් ද තිබූ බව පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත. එම වෙබ් අඩවියේ මූල්‍ය මැනේජර් වන බණ්ඩාරගම පළාතේ මාකේවල ගෙදර ධනුක කෞශල්‍ය නමැත්තාගේ බැංකු ගිණුමෙහි රුපියල් ලක්ෂ හැත්තෑවක් තිබිණ. දෙදරු පියකු වූ දුමින්ද සම්පත් සැප කඳක් බව පෙනේ. ලංකාවේ ජනප‍්‍රියම පිරිත් වෙබ් අඩවියේ අයිතිකරු ද ඔහුය. එබැවින් මේ සැප කඳ ගැහැනු ළමයි විකුණා මෙලොවට ද, පිරිත් ප‍්‍රචාරය කර පරලොවට ද වැඩකර ගැනීමට තැත්කළ බව පෙනේ. කෙසේ හෝ වේවා දුමින්ද සම්පත් සිය සාපරාධී කුපාඩි ක‍්‍රියාව මගින් අලූත් මානයක් විවෘත කරදී තිබේ. එය වූකලී ශ‍්‍රී ලංකාවේ ළමයින් ලිංගිකව පරිහරණය කිරීම පිළිබඳ කතන්දරය යි. රිෂාඞ් බදියුදීන් ගේ නිවසේදී දූෂණය වී පිළිස්සී මිය ගිය දහසය හැවිරිදි මෙහෙකාර දැරිය ගැන අපි ඊයේ කතා කළෙමු. සී අයි ඞී ය භාරයේ රඳවාගෙන සිටින රිෂාඞ් බදියුදීන්ට දැරියගේ මරණයෙන් පැය හතළිස් අටක් ගතවීමට පෙර පපුවේ අමාරුවක් හැදුනු අතර එතුමා බන්ධනාගාර

රෝහලට මාරු කිරීමට සිදුවිය. මෙය දැරිය කෙරෙහි උපන් අනුකම්පාව නිසා හටගත් අමාරුවක් බව අපි විශ්වාස කරමු. මේ අතර නාවලපිටියේ ඉලූක්තැන්න ප‍්‍රදේශයේදී පියා පෙම්වතා ඇතුළු දස දෙනකුට වැඩි පිරිසක් විසින් විටින් විට කෙලසන ලද දහතුන් හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී තිබේ. මෙකී දූෂකයන් අත්අඩංගුවට ගැනීම සිදුවෙමින් පවතී. පොලිසියේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ පුවත්පතට බලවත් ප‍්‍රශ්න තිබේ. පොලිසිය විටෙක හොරුන්ට සපෝර්ට් කරයි. කුඩු මුදලාලිලාගේ බර්ත් ඬේ පාර්ටි වලට යයි. අත්අඩංගුවට ගන්නා අහිංසකයන්ට කිසිදු හේතුවක් නැතිව රෝද පුටුවේ යෑමට සිදුවන පරිදි පහර දෙයි. කප්පම් ගනී. එක්කෝ නීතිය නවයි. නැත්නම් දිග හරියි. නැත්නම් ඇද අරී. මේ කවර වැරදි කළත් ස්ත‍්‍රී දූෂකයන් සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන දණ්ඩන ක‍්‍රම කිසිසේත්ම අමානුෂික නැත. පොලිසියට ගෙන යන ස්ත‍්‍රී දූෂකයාගේ ශරීර කොටස් මේස ලාච්චුවට දමා බැටන් පොල්ලෙන් මේසයට පහර දෙතැයි කියනු ලැබේ. අත්අඩංගුවට පත්වන අයගේ සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් උදෙසා ක‍්‍රියාකරමින් ගනුදෙනුවක් උපයා ගන්නා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් නමැති එන් ජී ඕ එකට සාපේක්ෂව මෙසේ මේසයට ගුටි දීම වරදකි. එහෙත් දූෂණයට ලක්වූ පාර්ශ්වයට සාපේක්ෂව මෙසේ පහරදීම සද් ක‍්‍රියාවකි.

තම දියණියන් දෙදෙනා අපයෝජනයට ලක් කළ පුද්ගලයකු බදුල්ලේ දෙමෝදර දී පොලිස් අත්අඩංගුවට පත්විය. පානදුරේ දුමින්ද සම්පත්, දහතුන් හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ නාවලපිටියේ පියා සහ පෙර කී දියණියන් දෙදෙනා විනාශ කළ දෙමෝදර පියා යන තිදෙනාම වෙනුවෙන් එකම පතොරොමක් වැය කළ හැකි නීතියක් මේ රටේ නොමැතිවීම කනගාටුවකි. රයිෆල් තුවක්කුවක පතොරොමක මිල රුපියල් දහස ඉක්මවයි. අපරාධකරුවන් තුන්දෙනකුට දඬුවම් කිරීම සඳහා පතරොම් තුනක් යොදාගත් විට රුපියල් තුන්දහසක් රජයට වැය වේ. එහෙත් අපරාධකරුවන් තිදෙනා එක පෙළට තබා කොකා ගැස්සිය හැකිනම් රජයට වැය වන්නේ රුපියල් දහසක් පමණි. මේ පුවත්පත ප‍්‍රතිපත්තියක් වශයෙන් මිනී මැරීමට විරුද්ධය. එහෙත් කුඩු මුදලාලිලාට සහ ස්ත‍්‍රී දූෂකයන්ට මරණ දඬුවම දීමට මහත් සේ පක්ෂය. දෙමෝදර තිරිසනා කෙලෙසූ දැරියන් දෙදෙනා පිළිවෙළින් අවුරුදු දොළහ සහ අවුරුදු දා හතර යන වයස්වල පසුවෙති. පියකු වේශයෙන් පැමිණි තුච්ඡු අධමයාට දිය යුතු දරුණුම වධය දීමට තවමත් මේ රටේ නීතියක් නැත. එයට හේතුව ශිෂ්ටාචාරය සහ සංස්කෘතියයි. ස්ත‍්‍රී දූෂකයන් ඉදිරියේදී ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය යන දෙකම අපට එපා වන්නේ ඔවුන්ට උපරිම දඬුවම් දීම එමගින් වැළැක්වෙන හෙයිනි.

ඇතුළත ගිනි සහ පිටත ගිනි යනුවෙන් දෙවර්ගයක් තිබේ. එසේම ඇතුළත ගිනි පිටතට නොදිය යුතු බවට ගොන් කතාවක් ද තිබේ. ඇතුළත හටගන්නා ගින්න දරුණු වූ විට අමුතුවෙන් පිටතට දිය යුතු නැත. එය පිටතට පැතිරෙන්නේ මුළු මහත් සමාජයම අළු බවට පත් කරමිනි. මේ ගින්නට වැඩි මනත් හසුවන්නෝ බාලවයස්කාර දැරියෝය. තරුණ ගැහැනුය. ඔවුන් කෙලෙසන ස්ත‍්‍රී දූෂකයන් මේ ගිනි ජාලාවට පණ පිටින්ම ඇද දැමිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment