අපනයන ආර්ථිකයක් උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගැන ලොකු විශ්වාසයක් තැබිය හැකියි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

53

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් (26)දා පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි. අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹදී මෙම වාර්ෂික සමුළුව පැවැත්විණි. මෙහි ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.

අපනයන ආර්ථිකයක් උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගැන ලොකු විශ්වාසයක් තැබිය හැකියි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අප ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතු මාර්ගය තීන්දුකළයුතු සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. මේ රටේ ජනතාව විසින් ඒ මාර්ගය තීරණය කළ යුතුයි. අපි මෙතැනින් ඉදිරියට යනවාද? අපි මෙතනම නවතිනවාද? නැත්නම් ආපස්සට ගමන් කරනවාද කියා තීරණය කළ යුතුයි. මට අද මුණ ගැසැණු තරුණයෙක් මගෙන් ඇසුවා, ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද? මේ රටේ උගතුන් වෙනුවෙන් ඔබ ගෙන ඇති සැලසුම් මොනවාද? රටේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔබ සතුව ඇති සැලසුම් මොනවාද? කියලා. මම කිව්වා එවැනි කිසිම සැලසුමක් නැති බව. මට සිතිය හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණක් බව, මම ඔහුට පැවසුවා.

වෙළඳපොළ බලවේග මේ සියලු‍ සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇතියි. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි අවුරුදු තුන හතර තුළ ක්‍රියාත්මක කර වැඩසටහන් මොනවද යන්න තීරණය කර, ක්‍රියාත්මක කර, අවශ්‍ය වෙනස්කම්ද සිදු කළ හැකියි.

සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය ලබා දෙනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒනිසා අපි තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. ඔවුන් වෙනස් වුණා. අපි එකම තැන සිටියා. ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වෙනවාද? නැතිනම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යාමට අප සූදානම්ද යන්න ඔබ සියලු‍ දෙනාම සිතා බැලිය යුතු කාරණාවක්.

අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරී ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරී වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරඟයට මුහුණ නොදී තරඟකාරී විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපිට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයන් සහිත කෙටි කාලයක්. නමුත් අපට එය ජයගත හැකි බව මම විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරයාගේ නියෝජිත ප’ හොයෙන්, මෙවර සමුළුවේ සභාපති ඩී.ජී.එන්.ඩී. කුමාර් සුන්දරරාජා, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් උපදේශක ප්‍රදීප් අමිර්තනායගම්, හිටපු සභාපතිවරුන් වන කේ.ආර්. රවීන්ද්‍රන් යන මහත්වරුන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයින්, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරී මණ්ඩලය, සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment