ගෝනුසු විෂට ඉහළම මිලක්

199

රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විෂ ලොව මිලෙන් අධිකම ද්‍රව්‍යය බව ඇසුවොත් ඔබ මවිත වනු නිසැකය. එහෙත් එය සැබෑවකි. මිනිසාට ඉතා හානිකර බැක්ටීරියා වර්ග කිහිපයකට එරෙහිව ක්‍රියාකිරීමට සමත් ගෝනුසු විෂ සංයෝගයක් නිස්සාරණය කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. එසේම එම බැක්ටීරියා නාශකය මිනිසා කෙරෙහි අතුරු ආබාධ කිසිවක් ඇති නොකරන බව ද පැවසේ.

බොහෝ සතුන් විෂ නිකුත් කරන්නේ උන්ගේ ආරක්ෂාවට බව අපි දනිමු. මේ විෂ දෂ්ට කරනු ලබන්නාට සුළු වේදනාවක් ගෙන දීමේ සිට මොහොතකින් මාරාන්තික තත්ත්වයක් දක්වා දිවෙන අවස්ථා ද තිබේ. එසේම එම විෂ නැසීමට එම විෂම යොදා ගැනීම ද සිදු කෙරෙන අවස්ථා ඇත. සර්ප දෂ්ටනයන් සඳහා යොදා ගන්නා ප්‍රතිවිෂ එන්නතත් ජලභීතිකාවට එරෙහි රේබීස් එන්නතත් ඊට කදිම නිදසුන්ය.

ඒ හැර මිනිසාට වැළඳෙන රෝග සහ ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉතා ඵලදායී ලෙස භාවිත කෙරෙන වෙනත් සත්ත්ව විෂ වර්ග බොහෝය. රුධිර කැටි දියකර හැරීම සඳහා ගිනිකොණදිග ආසියාවට ආවේණික පොළොං විශේෂයක විෂ උපකාරී වන බව ඔප්පු වී ඇත. ඉතා විසකුරු මකුළු වර්ගයක (Funnel web spider) විෂෙහි අඩංගු සංඝටකයක් ආඝාත තත්ත්වයකදි මොළයට වන හානි වැළැක්වීමට සමත් බව හෙළිදරව් වී ඇත.

ගෝනුසු විෂට ඉහළම මිලක්

විනාශ කිරීමට අසීරු බැක්ටීරියාවන්ට එරෙහිව ගෝනුසු විෂ යොදා ගත හැකි බව සොයාගෙන ඇත්තේ කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ සහ මෙක්සිකෝවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසිනි. නැගෙනහිර මෙක්සිකෝවට ආවේණික ගෝනුසු විශේෂයකගේ (Diplocentrus meleci) විෂවල අඩංගු මීට පෙර හඳුනා නොගත් සංයෝග දෙකක් නිරෝගී පටකවලට කිසිදු හානියක් නොකර ප්‍රබල බැක්ටීරියා සමග සටන් කරන බව ඔවුන් හෙළි කර ගෙන ඇත. ඔවුන් මෙම සංයෝගවල කාර්යක්ෂමතාව හා ආරක්ෂිත බව පිරික්සීම සඳහා මීයන් මෙන්ම පටක නියැදි ද භාවිත කළ බව පැවසේ. මේ පර්යේෂකයන් ඔවුන් සොයාගත් නව සංයෝග දෙකෙහි නියැදි මෙක්සිකෝහි සැල්වදෝර් සුබිරාන් ජාතික සෞඛ්‍ය විද්‍යා හා පෝෂණ ආයතනයේ විද්‍යාඥයන් වෙත යවා ඇත. එහිදී මේ සංයෝග රසායනිකව සංස්ලේෂණය කිරීමට හැකි වී ඇති අතර ඒවා වෙනත් පටකවලට හා අවයවවලට හානි නොකර ස්ටැෆිලොකොකස් ඕරියස් හා මයිකොබැක්ටීරියම් ටියුබකලෝසිස්හි විවිධ ධූලක විනාශ කිරීමට සමත් වූ බව තහවුරුව ඇත. ඒවා මිනිසාට ඉතා හානිකර බැක්ටීරියාවන් ය.

ඒ අනුව ගෝනුසු විෂ මිනිසා වෙනුවෙන් නිපදවෙන ඔසු අතර නව පෙරළියක් කරන බව පැහැදිලි ය. පරිමාව අනුව ගත් කල ගෝනුසු විෂ යනු ලෝකයේ මිලෙන් අධිකම දෙයකි. පර්යේෂකයෙකු පවසන්නේ ඉන් ගැලුමක් නිෂ්පාදනය කිරීමට වැයවෙන මුදල ඩොලර් මිලියන 39ක් පමණ වන බවයි. ‘ඔබ මේ සංඝටකය නිපදවීමට ගෝනුස්සන් පමණක් යොදා ගන්නේ නම් එය කිසිවෙකුට දරාගත හැකි කරුණක් නොවේවි. එනිසා එය නිවැරදිව හඳුනාගෙන සංස්ලේෂණය කරගැනීම වැදගත්’ හේ තවදුරත් පවසයි. ඔබ දැන සිටිය යුතු තවත් විශේෂ කරුණු දෙකකි. පළමුවැන්න ඔබ ගෝණුසු විෂ සොයා අලෙවි කර කෝටිපතියකු වීමට සිතුවේ නම් ඒවා ඉතා පිරිසිදුව රැස් කළ යුතු බවයි. ඊට අධික පිරිවැයක් දැරීමට සිදුවේ. අනෙක් කරුණ වන්නේ ඒවා මිලදී ගනු ලබන්නේ වසරකට වරක් පමණ ඉතා සුළු ප්‍රමාණයකින් බවයි. එද පර්යේෂණ අවශ්‍යතා සඳහා මයික්‍රොග්‍රෑම් අගයකිනි.

ගෝනුසු විෂෙහි මිල පිළිබඳ මිනිසුන් උනන්දු වෙත්ම උන් තර්ජනයට ලක්වූ පුවතක් ද ඇත. මේ විෂ ලීටරයකට ඩොලර් මිලියන 10ක් ලැබෙන බවට ප්‍රකාශයක් ඉරාන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. අවසානයේ ඉරානය පුරා නීතිවිරෝධීව ගෝනුස්සන් දහස් ගණනින් ගාල් කළ ගොවිපළ රැසක් බිහිවිය. ප්‍රතිඵලය ගෝනුසු වර්ග රාශියක්ම වඳවීමේ තර්ජනයට ලක්වීමයි. ඉතින් අපි අප වෙනුවෙන් ඔවුනට ජීවත් වීමට ඉඩ දෙමු.

දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment