ජ්‍යොතිෂය පුබුදුවාලු ගීතය

85

ඍෂි උතුමන් සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා මෙලොවට දායාද කළ උතුම් දිව්‍යමයවේද විෂයන් අතුරින් විශේෂයෙන් ම ජ්‍යොතිෂ විද්‍යාව දිනෙන් දින ම අවතක්සේරු වෙමින් පරිහානිගත වී අභාවයට යමින් පවතී. වචනාර්ථයෙන් බැබළීම කියා පානා ජ්‍යොතිෂය උගත් ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂවේදිනියන් වන අප අපට හැකි උපරිමයෙන් ජ්‍යොතිෂය බබළවා ලියා යුතුය. ඒ ජ්‍යොතිෂය නිසාවෙන් අප බැබළෙනුයේ යම්තාක් ද ඊට සාපේක්‍ෂව සිය දහස් ගුණයෙන් ජ්‍යොතිෂය බැබළිය යුතුය යන මතය මත පිහිටා ය.

විශේෂයෙන් නිසි උගත් ගුරු ඇසුරක් තුළ නිවැරදි ජ්‍යොතිෂ අධ්‍යාපනයක් ලැබීමකින් තොරව ජ්‍යොතිෂ කටයුතුවල නිරත වීමෙන් ද ජ්‍යොතිෂයේ වටිනා කොටස් පටු පරමාර්ථ උදෙසා ගුරුමුෂ්ටි ලෙස සැඟවීමෙන් ද මනසට පීඩාකාරී අසීරු ක්‍රමවේද තුළින් ජ්‍යොතිෂ අධ්‍යාපනය ලබාදී මෙන් ද ජ්‍යොතිෂ අනාගතයට වන විපත අතිමහත්ය. කෙසේ හෝ ජ්‍යොතිෂය දැන උගත් අප මෙකී තත්ත්වය නවතා ලියයුතුය.

ඉතා වටිනා තර්කානුකූල ගණිතය මත පදනම් වූ බොහෝදුරට ඉතා ම සියුම්ව නිවැරදිව ගණනය කිරීම් කළ හැකි ප්‍රායෝගික මෙන්ම පර්යේෂණාත්මක ගණිතමය විෂයක් වූ ජ්‍යොතිෂ විද්‍යාව අනෙකුත් විෂයන් සේම ද්විතීක පාසල් අධ්‍යාපනයටත් ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් ඇතුළත් විය යුතුය. විශේෂයෙන් විශ්වවිද්‍යාල තුළ දැනට ජ්‍යොතිෂ විද්‍යාව විෂයක් ලෙස ඉගැන්වුණ ද ජ්‍යොතිෂ අධ්‍යයන අංශයක් නොමැත. කෙසේ නමුත් කා හටත් එක්සේ ප්‍රයෝජන ගත හැකි වටිනා විෂයක් වූ ජ්‍යොතිෂ විද්‍යාව එලෙස පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වන කල ඒ හරහා උත්පාදනය වන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඍජු හා වක්‍ර රැකියා සම්බන්ධව නොකිවමනාය. එනිසා මේ උතුම් සත්කාර්ය උදෙසා රාජ්‍ය නායක මැති ඇමැති ආදී වගකිව යුත්තන්ගේ දැඩි අවධානය යොමු වේවායි එක සිතින් පතමි.

අතීතයේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ යම් පිබිදීමක් ඇතිවූ සමයේ ජ්‍යොතිෂයට ජ්‍යොතිෂ ගීතයක් නිර්මාණය විය. එදා අතීතයේ සිටි ජ්‍යොතිෂවේදීන් බහුතරයක් මෙම ගීතය හොඳින් දැන සිටියහ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් විසින් රචිත මෙම ජ්‍යොතිෂ ගීතය සියලු ජ්‍යොතිෂවේදීන් දත යුතුය. මේ ගීතයේ සංගීතය හා ගායනය පිළිබඳ තොරතුරු නොදැක්කද අවම වශයෙන් මෙම ගීතය සම්බන්ධව දැනුවත්ව සිටීම ඉතා වැදගත් මෙන්ම කාලෝචිතය.

මෙම ජ්‍යොතිෂ ගීතය මෑත වකවානුවේ නම් වසර ගණනාවකින් දකින්නටවත් අසන්නටවත් නොලැබුණි. අතීතයේ දිනක වරක් මෙම වටිනා ජ්‍යොතිෂ ගීතය එවකට ජනප්‍රියව පැවැති ලංකා ජ්‍යොතිෂ සංග්‍රහයේ පළවිය. මහනුවර දෙයියන්වෙල ශ්‍රී සුදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය කිතුල්ගොල්ලේ අනුරුද්ධ මහ ස්ථවිරයන් වහන්සේ මෙම ජ්‍යොතිෂ ගීතය ලංකා ජ්‍යොතිෂ සංග්‍රහයට පළ කිරීම පිණිස ලියා එවා තිබුණි. ක්‍රමයෙන් සැඟවී අභාවයට යමින් පැවැති මෙම ජ්‍යොතිෂ ගීතය එලෙස නැවත කල එළි බස්වා සමාජගත කිරීම සම්බන්ධව සමස්ත ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂවේදිනියන් වෙනුවෙන් මා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඉවත දා තිබූ පරණ පත්තර කොල කැබැල්ලක සඳහන්ව තිබී මෑතක දී මා අතට පත්වූ මේ ජ්‍යොතිෂ ගීතය එයින් උපුටාගෙන ශ්‍රී ලංකාවාසී සියලු ජ්‍යොතිෂවේදීන් ජ්‍යොතිෂවේදිනියන්ගේ දැන ගැනීම පිණිස මෙසේ සටහන් තබමි.

අතාතඃ හිම ශෛලාග්‍රේ දේවදාරූ වනාලයේ
පූර්වර්ෂ මුඛ නිගර්තා ජ්‍යොතිර් විද්‍යා නිරඣරී

හිම පෙ ගිරි සිරිසේ-දෙව් දුරු වන පෙදෙසේ//
චන්දන මාලති රුක් ගොමු ලිය පිස-දුම් සිළු යන පැතිරී//
ඉසිවරු වැජඹුණු අමා නිකේතන-තුළින් නැඟුණු මිහිරී//

මිනිසත් බව සඳහා-සිත් ගුණ දම් අදහා//
දියදම් පිළිබඳ ඇති නතු හෙළි කළ
නැකැත් සතර බැබළේ//

සමරද දැකුමද සිතුමද එකලෙස-ජීවනයට පිවිසේ//

මුළු ලොව පිබිදේවා-සැනසුම සැලසේවා//

අහස ද පොළොව ද වැඩෙන වැවෙන ලොව
පිළිබඳ තතු සමරාවී
දෝ සත රැකුමට-ලෝ වැඩ වැඩුමට
ඇදුරනි දැන් එක්වව්//

මුළු ලොව පිබිදේවා-සැනසුම සැලසේවා

ජ්‍යොතිෂය පුබුදුවාලු ගීතය

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු ආචාර්ය
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද – පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment