කාටවත් සින්දු කියන්න එපා කියන්න මම අමුතු පිස්සෙක් වෙන්න එපායැ

211

එරබදු මලේ අවුල ගැන පෝස්ට් දාන අයට රජීව් දුන්න උත්තරය
මිනිස්සු මාව හඳුනා ගත්තෙ ක්ලැරන්ස් අයියගෙ සින්දු නිසා

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි

අපි අද කතාකරන්න යන්නෙ මේ ගීතය ගැන තමයි. හැබැයි වෙනස් කතාවක්. මේ ගීතය එක්තරා නාළිකාවක අවුරුදු වැඩසටහනකදී නදීර නෝනිස් ගායනා කළ නිසා දැන් බුකිය රත්වෙලා. මේ ගීතයේ මුල් අයිතිය හිමි රජීව් සෙබස්තියන් මොකක්ද මේකට කළේ. නදීරට යූටියුබ් නාළිකාවෙන් මේ ගීතය ඉවත් කරගන්න කියල කිව්ව කතාව ඇත්තක්ද?.

කාටවත් සින්දු කියන්න එපා කියන්න මම අමුතු පිස්සෙක් වෙන්න එපායැ

ඒ කතාව ඇත්තක් නම් ඔහු ඇයි එහෙම කළේ?.

මේ ඒ ගැන රජීව් කියන කතාව.

අවුරුදු ගීතයක් නිසා මේ දිනවල රජීව් ගැන කතාබහක් ඇතිවෙලා?

එහෙම හරි කතාබහට ලක්වෙනවා නම් හොඳයි නේද?

මේ ඇති වුණ සිද්ධිය ගැන ඔබට තිබෙන්නේ මොන වගේ පැහැදිලි කිරීමක්ද?

මාව කොහොමත් අවුරුද්දකට වතාවක් මතක් වෙනවා. ඒ මම කරපු වීදුරු මල්” සරම වගේ ගීත නිසා. සිංහල අවුරුද්දට ඔය ගීත අහන්න ලැබෙනවා. මම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ නිසා මම කතා කළේ මවු භාෂාවෙන්. බොහොම පැහැදිළිව සිංහල භාෂාවෙන් කිව්වත් මම කියපු දේ ඒ අයට තේරෙන්නේ නැති නම් කාටවත් කරන්න දෙයක් නැහැ.

පසුගිය කාලයේ ඔබ අසනීප වුණා. ඒ මොහොතේ කවුද උදව් කළේ?

ඒ වෙලාවේ මගේ හිතවතෙක් තමයි උදව් කළේ. කොහොම හරි ඒකට හේතුව මෙහෙම කියන්නම්කෝ. වෙනත් දේවල් ඔළුවේ තියාගෙන නෙමෙයි ඒ හිතවතා මට උදව් කළේ. ඒ උදව්ව කරන්න කලින් ඔහු මට කියල තිබුණා ගීත සංරක්‍ෂණය කිරීමේ ආයතනයක් ආරම්භ කිරීම ගැන. මොකද ක්ලැරන්ස් අයියගේ සහ සුනිල් අයියගේ ගීතත් ආයතනයකට පවරලා තියෙනව. මම ඔවුන් වගේ මහ ගොඩක් ගීත හදපු කෙනෙක් නෙමෙයි. ඉතිං මේ ආයතනය ආරම්භ කරන්න මගේ තියෙන ගීත ප්‍රමාණය මම ඔහුට දෙන්නම් කිව්වා. මේ අවුරුදු ගීතයත් ඒ අතර තියෙනව.

කාටවත් සින්දු කියන්න එපා කියන්න මම අමුතු පිස්සෙක් වෙන්න එපායැ

කොතනින්ද මේ ප්‍රශ්නය ඇතිවෙන්නෙ?

මීට කලින් ඔය ගීතය ගායනා කරන්න විවිධ අය මගෙන් අහල තියෙනවා. ගිය අවුරුද්දේ රූපවාහිනී නාළිකාවකින් මට කතාකරල ඇහුව මේ ගීතය ගායනා කරන්න. එතනදි මම අවසර දුන්නා. මේරියන්ස් සංගීත කණ්ඩායමටත් වතාවක මම අවස්ථාව ලබා දුන්නා. ඔනෑම කෙනෙකුට මේ ගීතය ගායනා කරන්න පුළුවන්. මම ක්ලේම් කරන්න යන්නේ නැහැ.

මම කොරීන්ට හදපු මගේ කොණ්ඩෙ නැතත් ඉණ ගාවට ගීතය කොරීන්ට වඩා වෙනත් අය ගායනා කරනවනේ. රියැලිටි වේදිකාවල කොච්චරනම් ඇහෙනවද?. ඇතැම් නිළියන් ටීවී ප්‍රෝග්‍රෑම්වලදීත් ගායනා කරනව. නමුත් මම කාගෙන්වත් ක්ලේම් කරල නැහැ. නමුත් දැන් මට වගකීමක් තියෙනවා. මොකද දැන් මම යම්කිසි පොරොන්දුවක් දීලා තියෙන නිසා මේක යූටියුබ් එකෙන් අයින් කරන එක විතරයි මට තියෙන එකම ප්‍රශ්නය. නමුත් මම ඒක කරන්න කියන්නෙත් අදාළ වැඩසටහන කරපු නාළිකාවට මිසක ගායනා කළ කෙනාට නෙමෙයි.

ඔබ ඔවුන්ට අවස්ථාවක් දුන්නද?

මේක විකාශනය වෙන්න ඇත්තේ අප්‍රියෙල් 14 වැනිදානේ. මම අප්‍රියෙල් 29” 30 වගේ වනතුරු තියෙන්න ඉඩ දුන්නා. ඊට පස්සෙ තමයි කතා කළේ.

අවසානයේ එදාම සවස නදීර නෝනිස් මට කතා කළා. මම ඒ වෙලාවේ කිව්වෙ ඔයා ඕනෑ තැනක මේ ගීතය ගායනා කරන්න” හම්බකරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එකම දේ යූ ටියුබ් එකෙන් වීඩියෝ එක අයින්කරලා දෙන්න කියල.

මේ ගීතයේ රචකයා” තනුව සහ සංගීත නිර්මාණකරුවා හැටියට මට ඒ ඉල්ලීම කරන්න අයිතිය තිබුණත් ඒ අයිතිය කැත විදිහට” තර්ජනාත්මකව කළේ නැහැ. නමුත් එලියට ගියේ වෙනම කතාවක්. මට ඒකට කරන්න දෙයක් නැහැ. මගේ ඉල්ලීම ආසාධාරණත් නැහැ.

ඔබ බොහෝ දෙනකුට ගීත නොමිලයේම නිර්මාණය කරල තියෙනව?

ඔව් නමුත් ලංකාවේ මින්ස්සුන්ට හැමදේම මතක තියෙන්නෙ සති දෙකයිනේ. ඒ අතීතය මතක නැතිව ඇති. වරෙක මට යොහානිම කියල තිබුණ මම රජීව් සෙබස්තියන්ට සදා ණයගැතියි කියල. ඒකට හේතුව මැණිකේ ගීතය හිට් වෙන්න කලින් ඇයට තමන්ගේම කියලා නිර්මාණ නොතිබුණ කාලෙක තමයි මම ‘හාල්මැස්සා. කියන ගීතය ලියලා තනුව දාලා සංගීතවත් කරලා වාදන ශිල්පීන්ට සහ ශබ්ධාගාරවලට මුදල් ගෙවලා මගේ ගානේ ඇයට දුන්නෙ ඔයාට කැමති දෙයක් කරගන්න කියල.

මම කියන්න ගියේ නැති වුණාට මේ වගේ දේවල් ගොඩක් දෙනකුට කරල තියෙනව.

රජීව් සිංහල ගීත රසිකයන් අතර ජනප්‍රිය වෙන්නෙ ක්ලැරන්ස්ගේ ගීත නිසා?

මම මේ ගීත ටිකක් හදලා මට පුළුවන්ද ඒක කාටවත් ගායනා කරන් එපා කියන්න. ඉන්ග්‍රීසි ගීතවලින් ගමන ආරම්භ කරපු මාව සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ මිනිස්සු අඳුනගත්තෙ ක්ලැරන්ස් අයියගේ ගීත ගායනා කළ නිසා. ඉතින් මට පුළුවන්ද තව කෙනෙකුට මගේ ගීතයක් ගායනා කරන්න එපා කියන්න. එහෙමනම් මම අමුතු පිස්සෙක් වෙන්න එපායැ.

මේ ඇති වුණ සිද්ධිය ඔබ දකින්නෙ කොහොමද?

ගිය අවුරුද්දේ අපි හිටපු තැන හැමෝටම මතක ඇතිනේ. තෙල්” ගෑස් නැතිව” කන්න නැතිව ප්‍රශ්න ගොඩකනෙ හිටියෙ. නමුත් අද එහෙම නෙමෙයි. මම මේ දේශපාලනය පැත්තකින් තියලා කතා කරන්නෙ. ඒ තරම් අපහසුතාවට පත්වෙලා කවුරුත් ඉදිරිපත් නොවුණ වෙලාවක තනියම පාර්ලිමේන්තුවට ඇවිත් මේ තරම් දුරට අපිව ගොඩදැම්ම මනුස්සයාටත් මිනිස්සු බනිනව නම් රජීව් සෙබස්තියන් කියන්නෙ කවුද?.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment