13 පමණක් නොව පළාත් සභා ක්‍රමයම බැහැර කළ යුතුය

444

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ජනමතය නොතකා ඒකාධිපති තීන්දුවක් ගනිමින් ඉන්දියානු බලපෑමට යටත්ව මේ රටට හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය ආරම්භ කොට මේ වනවිට දශක තුනක් ඉක්මවා ඇත්තේය. එහි ඇතුළත් දහතුන් වන ව්‍යවස්ථා බලතල ක්‍රියාත්මක කිරීමට එදා පටන් මේ දක්වා සිටි රටේ රාජ්‍ය නායකයන් කිසිවකුත් කටයුතු කළේ නැත. එහි ඇති බලතල නීතියට එකඟ වුවත් ඒ තුළින් ප්‍රායෝගිකව රටට මහා විපතක් සිදුවන බව ඔවුන් මැනවින් දැන සිටි බැවින් එය ක්‍රියාත්මක නොකළ බව පැහැදිලි කරුණකි.

ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තැබීම සඳහා ලංකාවට පැමිණි එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මැතිතුමන් ට හමුදා ආචාර පෙළපාලියේ දී සෙබළකු විසින් රයිපල් බඳෙන් පහර දුන් අයුරු අපට මතකය. එම ක්‍රියාව නීති විරෝධී වුවද මේ රටේ දේශප්‍රේමි ජනතාව වසර 75 ක් පුරා අවස්ථාවාදී දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා කලාපයන් ඉදිරියේ අසරණ වීමේ ප්‍රතිඵලයක් ලෙස එම පහර දීම හඳුන්වා දිය හැකිය. අද වන විට ඔහු විසින් රටට දුන් පණිවිඩය සැබෑ වී ඇත්තේය. පළාත් සභා යනු සුදු අලියෙකි. යන්නෙන් පෙන්වා දුන් දුර දක්නා වියතුන්ගේ හඬද සනාථ කර ඇත්තේය. ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිතුමා කිසිදු පළාත් සභාවක් නොමැතිව කෙටි කලක් සාර්ථකව පාලනය කළ අයුරු අපි දුටුවෙමු. මගේ මතය නම් මේ රටට පළාත් සභා ක්‍රමය අනවශ්‍ය බවයි. එය ජාතික ධනය කාබාසීනියා කරන ක්‍රමයක් මිස රටට නම් යහපතක් නොවන ක්‍රමයකි. එබැවින් පළාත් සභා ක්‍රමය මුළුමණින්ම අහෝසි කළ යුතුය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 13 බලාත්මක කිරීමේ බරපතළ පිපාසයකින් පසුවේ. උතුරු නැගෙනහිර ඡන්ද පොරොන්දු දී මෙතෙක් දේශපාලකයන් ඡන්ද ලබා ගත් ක්‍රමය යළි ඔහුට ද සිහිපත් වී ඇතැයි සිතිය හැකිය. මේ වන විට උතුරේත් නැගෙනහිරත් සිංහලයන්ට, බෞද්ධයන්ට හා වෙහෙර විහාරස්ථාන, පුරා වස්තු, නටඹුන් සියල්ලට එරෙහි ද්‍රවිඩ අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් පවතී. බුරුම දේශයෙන් වැඩම කළ භික්ෂූන් වහන්සේලාගේ ආගමික උත්සවයක් කඩාකප්පල් කිරීම, කුරුන්දි විහාරය හා ඉඩකඩම් පිළිබඳ අයිතීන් ප්‍රකාශ කිරීම, බොරළු කන්ද විහාරය නටඹුන් විනාශ කිරීම හා ආක්‍රමණය කිරීම වැනි තවත් බොහෝ වූ සිදුවීම් තුළින් 13 ක් නොදී කෙරෙන අකටයුතුකම් තුළින් 13 ලබා දීමෙන් විය හැකි බරපතළ ව්‍යසනයන් ගැන සිතා ගැනීමටත් නොහැකි තරම්ය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ ජනපතිතුමන්ට 13 බලාත්මක කිරීමට කිසිදු ජන වරමක් නැත. ඔහු කැඳවා ඇත්තේ තාවකාලික පාලනයක් සඳහා මිස රටට දැයට සමයට බලපාන ජාතික මට්ටමේ තීරණ ගැනීමට නොවේ. ඔහු විසින් කළ යුතු වන්නේ තම තමන් විසින්ම රටට අහිමි කළ ආර්ථිකය යළි ගොඩනඟා දීම පමණි.

පළාත් සභා ඡන්දය පවා නොතියා හිටපු සභිකයන්ටම යළි පණ දීමේ කූට අදහසක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී යෝජනා කෙරුණ අතර එය අධිකරණය විසින් බැහැර කිරීමට කටයුතු කිරීම සතුටට කරුණකි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ උතුරු නැගෙනහිර සාමාන්‍ය පොදු ජනතාවට පළාත් සභාව හෝ 13 අවශ්‍ය නොවන බවයි. ඔවුන් අපේක්ෂා කරන්නේ තමන්ට අවශ්‍ය ආර්ථික ශක්තිය රජය මගින් ලබා දෙනු දැකීමයි. එය පසෙක ලා 13 ක් ගැන කථා කිරීමෙන් රටේ පාලකයාම නැති ප්‍රශ්න ඇති කරන තත්ත්වයකට පත්ව ඇති බව පෙනී යයි. උතුරේ දෙමළ බෞද්ධයන් ඉදි කළ වෙහෙර විහාර ගැන ජනපති සිහින දකියි. ජාති ආගම් භේද අවුලුවා රට කැබලි කිරීමට මාන බලන අයට උඩ ගෙඩි දීමක් මෙයින් සිදුවේ. දෙමළ අන්තවාදීන් සුළු පිරිසකගේ ජාතිවාදී ආගම්වාදී ඉල්ලීම තරයේ බැහැර කළ යුතුව ඇති තැන ජනපති හදන්නේ ඉල්ලන් කෑමට මග පාදා ගැනීමකි.

රට තුළ මේ වන විට සංවිධානාත්මකව භික්ෂු සංඝයාට විවිධ අඩම්තේට්ටම් කරමින් අපහාස උපහාස කරමින් සිදු කරන්නේ ද වසර දහස් ගණනක හෙළ උරුමයටත්, උරුමකරුවනුත් වනසා අන්තවාදීන්ගේ මනදොළ සපුරා ලීමකි. මුළු මහත් දේශයම ආර්ථිකයේ ආගාධයට ඇද දමා ඇති මේ තීරණාත්මක අවස්ථාවේ ජරමර පිට බරකරත්ත යඅයි කීවාසේ යළි ජාතිවාදී යුද්ධයකට රටද ඇද දැමීමට වගකිවයුත්තන්ම උත්සහ දැරීම හෙළා දැකිය යුක්තකි. එබැවින් මේ රටේ සියලු දේශපාලන පක්ෂ එකට මුණ ගැසී මතවාද පසෙක ලා තීන්දු තීරණ ගෙන 13 ට එරෙහිව කටයුතු කළයුතු බව පොදු මහජනතාවගේ හැඟීමයි. විශේෂයෙන් මහා සංඝරත්නය කළ යුත්තේ බලකාමී අවස්ථාවාදී, දේශපාලකයන්ගේ හැසිරීම් ගැන දැඩිව විමසිලිමත් වීමයි. තවද පළාත් සභා මුළුමණින්ම අහෝසි කොට ඊනියා 13 ට එරෙහි වීමයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමයි ජනපතිතුමනි, ඔබට භාරදී ඇති තාවකාලික කාර්ය භාරයට එහා ගිය කිසිදු කටයුත්තකට අත නොගසා මහජන මතයකින් බලයට පත්වන ආණ්ඩුවකට එය භාර දී හැකි පමණින් රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීම මිස අනවශ්‍ය දේට අත තැබීම නොවේ. ජනපති බලතල ප්‍රකාරව නෛතික කටයුත්තක් වුවත් බහුතර ජන මතයට එකඟ නොවන්නේ නම් එය බැහැර කිරීමට පියවර ගැනීමට හැකි වන්නේ නම් එය සැබෑ නායකයකු තුළ තිබිය යුතු පෞරුෂ ගුණයක් බව ද පෙන්වා දෙනු කැමැත්තෙමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක

● කැප්පිටියාගොඩ සිරිවිමල නායක ස්ථවිර

advertistmentadvertistment
advertistmentadvertistment