පොදු අපේක්ෂකයා වටිනාකමක් නැති කල් ඉකුත් වූ සංකල්පයක් – කේ. ඩී. ලාල්කාන්ත

207
දේශපාලනය යනු නේකවිධ පුවත් මවන්නා වූ ගතික සංකල්පයකි. මේ දිනවල ශ්‍රී ලාංකේය දේශපාලනය පිළිබඳව අවධානයෙන් පසුවන්නා වූ ඕනෑම අයෙකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වේ. රටක සමාජ, ආර්ථික, සංස්කෘතික, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී සෑම අංශයකම අනාගතය රඳා පවතින්නේ එම රටෙහි දේශපාලනික ස්ථාවරත්වය මත බව නොරහසකි. වර්තමානයෙහි අප මුහුණ දී තිබෙන්නාවූ දැඩි අර්බුදකාරී තත්ත්වයන්ට මූලිකම පදනම ගොඩනැංවී ඇත්තේ ද අස්ථාවර දේශපාලනික පසුබිම හේතුවෙනි. එවැනි වාතාවරණයක් තුළ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් ජාතික ජන බලවේගයෙහි ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සම්පාදිතය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ සිට මේ දක්වාම ලාංකීය දේශපාලනය තුළ ක්‍රියාත්මක වන්නේ ලිබරල්වාදී දර්ශනයකි. දේශපාලනික ලිබරල්වාදය, සමාජ ලිබරල්වාදය, සංස්කෘතික ලිබරල්වාදය සහ ආර්ථික ලිබරල්වාදය යන මූලික කරුණු හතරක් පදනම් කරගනිමින් ලිබරල්වාදය ක්‍රියාත්මක විය යුතු වුවද ලාංකීය සමාජය තුළ එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බවක් පෙනී යයි. ලිබරල්වාදය පිළිබඳව කතාබහ කරන විට එහි මූලික පදනම වන්නේ පුද්ගල නිදහසයි. එනම් දේශපාලනික, සමාජ, සංස්කෘතික, ආර්ථික යන සිව්වැදෑරුම් අංශයන්හි පුද්ගලයාට තිබිය යුතු නිදහසයි. නමුත් ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමෙන් පැහැදිලි වන්නේ ලිබරල්වාදී දර්ශනයට අවශ්‍ය ආකාරයට සමාජය හැඩ ගැසී නොමැති බවක්ය. මෙසේ බලන විට රටෙහි පාලන ක්‍රමය ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අනුව ශ්‍රී ලාංකීය දේශපාලනය ද සියයට සීයක්ම ඒ අනුව හැඩගැසී නොමැති අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැනි ලිබරල්වාදී දර්ශනයෙහි යම් යම් අංගයන් වර්තමානයෙහි ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. එසේම ලිබරල්වාදී පාලනයෙහි එක ලක්ෂණයක් වන, බහු පක්ෂ ක්‍රමය ද මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ පිළිගෙන ඇත. මෙකී බහු පක්ෂ ක්‍රමයත් සමග බලය උදෙසා පැන නැගෙන්නා වූ තරගකාරීත්වය ශ්‍රී ලාංකීය දේශපාලනය තුළද කැපී පෙනෙයි. එය අහිතකර නොවුව ද, ගැටලුව වන්නේ ඇතැම් පක්ෂ අභ්‍යන්තරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය යන කාරණාව දක්නට නොලැබීමයි. එහි ප්‍රතිඵල වශයෙන් ඇතැම් පක්ෂ තුළ සාමාජිකයින් පාලනය කිරීම මුල් කරගත් ඒකාධිපති ලක්ෂණ වර්තමානයෙහි දක්නට ලැබේ. මේ හේතුවෙන් දේශපාලන පක්ෂ පිරිහීමට ලක්වන අතර ඒ ඔස්සේ රටෙහි දේශපාලනය ද අවුල් සහගත තත්ත්වයකට පත්වන ආකාරයක් මේ වන විට දක්නට ලැබෙයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තුළ පක්ෂ නායකත්වයට මෙන්ම නායකත්වය යටතේ සිටින්නා වූ සියලුම සාමාජිකයින්ටද සමානාත්මතාවයෙන් යුක්තව සලකන්නා වූ ආකාරයක් දක්නට ලැබේ. රටෙහි නායකයින් හෝ වේවා පක්ෂ නායකයින් හෝ වේවා මේ කුමන තනතුරක් දරන්නාවූ පුද්ගලයින්ට වුවද අසීමිත බලතල අත්‍යවශ්‍ය කාරණාවක් නොවන බව වර්තමාන දේශපාලන සන්දර්භය තුළ අපහට ලැබෙන්නා වූ අත්දැකීම් ඔස්සේ සනාථ වේ.

කෙසේ වුවත් ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්නා වූ එක් සාධකයක් ලෙස විධායක ජනාධිපති ක්‍රමය හැඳින්විය හැකිය. විධායක ජනාධිපති ධුරය යටතේ වසර පහක කාලයක් සඳහා පත්කරගන්නා වූ පාලකයින්ගේ අවශ්‍යතාවයන්ට අනුව රාජ්‍ය පාලනය සිදුවේ. පාර්ලිමේන්තු ක්‍රමයකට අනුව රට පාලනය කරන්නේ නම් එවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නැත. එපමණක් නොව, සම්භාව්‍ය ලිබරල්වාදයෙහි අඩංගු ආකාරයට රජය ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ නොවිය යුතුයි යන මතයෙහි සිටිමින් පාලන කටයුතු සිදු කරගෙන යෑම හේතුවෙන් ශ්‍රී ලාංකීය සමාජය අවුල් වියවුල් තත්ත්වයකට පත්වූ අතර එහි ප්‍රතිඵල වශයෙන් සමාජ ලිබරල්වාදය කරළියට පැමිනුණි. එහිදී රජය යම් පමණකට ආර්ථිකයට සම්බන්ධ වන අතර ඒ තුළ ද විවිධාකාරයේ ගැටලුකාරී තැන් ඉස්මතු වීම හේතුවෙන් නැවතත් රජය ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත්වීම සිදුකරන ලදි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නා වූ දර්ශනය වන්නේ ද එයයි. එයින් රටට සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නොවන බව වර්තමානයෙහි අප මුහුණ දී තිබෙන්නාවූ ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මනාව පසක් වේ. මෙකී අර්බුදකාරී තත්ත්වයන් සියල්ලටම පාහේ වගකිය යුත්තේ දේශපාලනික අස්ථාවරත්වය වේ. එනම් රටෙහි සෑම අංශයක් පිළිබඳවම තීන්දු තීරණ ගන්නාවූ දේශපාලනය ආර්ථිකයෙන් ඉවත් වූ විට ආර්ථිකය කඩා වැටෙන අතර ඒ ඔස්සේ විවිධාකාරයෙහි සමාජ ගැටලු නිර්මාණය වේ.

තවද ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන්නා වූ එක් සාධකයක් ලෙස පවුල්වාදී දේශපාලනය හැඳින්විය හැකිය. මෙම තත්ත්වය බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම දක්නට ලැබුණු අතර බලය මුල්කර ගනිමින් ධනය රැස්කර ගැනීමට ඔවුන් උත්සුක විය. ලිබරල්වාදී පාලනයෙහි ලක්ෂණයක් නොවන්නා වූ පවුල්වාදය සඳහා ලාංකීය නිදසුන් ලෙස, බණ්ඩාරනායක පවුල, ජයවර්ධන පවුල, රාජපක්ෂ පවුල ආදිය දැක්විය හැකිය. මේ ආකාරයට රටක ධනය, බලය හැසිරවීම එක් පවුලකට පමණක් සීමා කිරීම තුළ ආර්ථිකය කොල්ලකමින්, ඔවුන් පමණක් සැප විඳීමේ ප්‍රතිඵල ලෙස අහිංසක ජනයා දැරිය නොහැකි පීඩාවකින් බැට කමින් සිටියි. එයට ප්‍රධානතම හේතුව වන්නේ, අප දේශපාලන පද්ධතියෙහි අවිධිමත්භාවය වන බවට තර්කයක් නැත.

එසේම අවිධිමත් දේශපාලන වටපිටාවක් සහිත ලාංකීය සමාජය මේ වනවිට මුහුණ දී තිබෙන්නා වූ ගැටලු අතර ජාත්‍යන්තර බලපෑම්වලට නතු වීම ප්‍රමුඛ ස්ථානයක් ගනියි. ශ්‍රී ලංකාව යනු භූගෝලීය පිහිටීම හේතුවෙන් අතීතයෙහි සිටම ජාත්‍යන්තර අවධානයට, බලපෑම්වලට ලක්වන්නා වූ රටකි බව නොරහසකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නා වූ පළාත් සභා ක්‍රමය ද ඉන්දියාවෙහි කිසියම් වූ බලපෑමක් සහිතව ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබීමෙන් පැහැදිලි වන්නේ ලාංකීය දේශපාලන ක්‍රමයට ජාත්‍යන්තර බලපෑම් තිබෙන්නා වූ බවක් ය. මෙවැනි පසුබිමක් තුළ ඉන්දියාව, චීනය, ඇමරිකාව, යුරෝපය වැනි රටවල් කෙරෙහි ශ්‍රී ලාංකීය අදාළත්වය ඉහළ මට්ටමක පවතින බව නොරහසකි. නමුත් බුද්ධිමත් මනසකට මෙකී අදාළත්වය දෙස සෘණාත්මක ඇසකින් පමණක් නොව ධනාත්මක ඇසකින් බලා ශ්‍රී ලාංකීය දියුණුව කෙරෙහි එකී ජාත්‍යන්තර සබඳතාවයන් යොදාගත හැකිය. නමුත්, මුල් කාලීන පාලකයින් කටයුතු කළ ආකාරයට අනුව මේ වන විට ඉන්දියාවෙහි සහ චීනයෙහි බල අරගලයට මැදිවී පීඩාවට පත්වන්නා වූ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකිය. එහි ප්‍රතිඵල වශයෙන් හම්බන්තොට වරාය චීනයට ලබා දෙන විට උතුරු ප්‍රදේශය ඉන්දියාවට ලබාදීමට සිදුවී ඇත. මේ ආකාරයට මේ වන විට ශ්‍රී ලාංකීය පාලනයෙහි තිබෙන්නා වූ දුර්වලතා හේතුවෙන්, විවිධාකාරයෙහි නීති සම්මුතීන් ආදිය ඔස්සේ ජාත්‍යන්තර බලපෑමට හසුවී අරාජික රටක් බවට ශ්‍රී ලංකාව පත් වී හමාරය.

මෙකී සියලු කාරණා සමග ඉස්මතුවන්නා වූ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ දක්නට ලැබෙන නව ප්‍රවණතාවක් ලෙස පැරණි දේශපාලන ලෝකය ඉවතලා නව දේශපාලනික ලෝකයක් ඉල්ලා සිටින වටපිටාවක් නිර්මාණය වී තිබීම හැඳින්විය හැකිය. මෙකී ප්‍රවණතාවය පැරණි ප්‍රවණතාවයන් මෙන් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් නොපෙන්වන අතර ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ස්වරූපයක් පෙන්වයි. මෙහි ආරම්භය සිදුවන්නේ 2021 වර්ෂයෙහි අග භාගය වන විට ශ්‍රී ලාංකීය ගුරුවරුන් අතරින් පැන නැගුණු මධ්‍යම පාන්තික හැඩයෙහි අරගලය හා ඉන්පසුව 2022 වර්ෂයෙහි මාර්තු මස මුල සිට ආරම්භ වූ පුරවැසි අරගලය හේතුවෙනි. මෙලෙස ගොඩනැංවෙමින් පවත්නා වූ දේශපාලන ප්‍රවණතාවයන්ට ගැලපෙන්නාවූ දේශපාලන ව්‍යාපාරය තෝරා ගැනීම පුරවැසියන් සතු වගකීමකි. මේ වන විට රටෙහි වාතාවරණයට අනුව ඒ සඳහා පුරවැසියන් විසින් ජාතික ජන බලවේගය තෝරා ගෙන ඇති බවක් පෙනීයයි. මෙකී දේශපාලනික ප්‍රවණතාවන් සඳහා සමාජ මාධ්‍ය බෙහෙවින් පිටිවහල් වන අතර ඒ හේතුවෙන්ම සමාජ මාධ්‍ය මර්දනය කිරීමෙහිලා පාලකයින් විසින් විවිධ වූ ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ දරන බවක් පෙනී යයි.

ඉහත සඳහන් කළ නව ප්‍රවණතාවයෙහි ප්‍රතිඵල ලෙස මේ වන විට ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සුලබ වශයෙන් කතා බහට ලක්වන්නා වූ මාතෘකාවක් ලෙස ‘මැතිවරණය’ හැඳින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ පවත්නා වූ ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයකි. නමුත් ජනාධිපතිවරයාට තිබෙන්නා වූ බලතලවලට අනුව මහ මැතිවරණයක් කැඳවීමට ද හැකියාවක් පවතියි. නමුත් ජනාධිපතිවරයා ද මහ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැමැත්තක් නොදක්වන හෙයින් දේශපාලනිකව මැන බලන විට ඉදිරියේදී මහ මැතිවරණයක් පැවැත්විය හැකි යැයි පැවසීමට නොහැකිය. නමුත් මේ වන විට මහ මැතිවරණයක් පැවැත්වීම උදෙසා සාකච්ඡාවක් කරළියට පැමිණ ඇත. එහි බලාපොරොත්තුව වන්නේ යම් හෙයකින් ජනාධිපතිවරණයකට ප්‍රථම මහ මැතිවරණයක් පැවැත්වුවහොත් තම දේශපාලනික බලය අහිමිවේ යැයි බියක් දක්වන පාර්ශ්වයන් විසිනි. ඒ තුළ හුදෙක් තම දේශපාලනික බලය රැක ගැනීමේ පරමාර්ථයක් මිස කිසිදු ජනතාවාදී ආකල්පයක් නොමැති බව අප වටහාගත යුතුය. එසේම මැතිවරණයක් පැවැත්වීම වෙනුවට පාලකයින් විසින් පළාත් පාලන මැතිවරණය කල් තැබීමෙන් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කර තිබෙන අතර මහ මැතිවරණ සහ පාර්ලිමේන්තු ඡන්දය ද කල් තැබීමට උත්සාහ ගනිමින් සිටියි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මීට පෙර බලයේ සිටින පාර්ශ්වයන් හට නැවත බලයට පැමිණීමට නොහැකි තත්ත්වයක් රට තුළ උදාවීම හේතුවෙනි. අවුරුදු හැත්තෑ අටකට ආසන්න කාලයක් පවුල් කිහිපයක් එක්වී ගෙනගිය පාලන ක්‍රමය කෙරෙහි ජනතා අප්‍රසාදය උග්‍ර වී ඇති පසුබිමක තමන් කෙරෙන් බලය ගිලිහේ යැයි පවත්නා බිය නිසාවෙන් මෙලෙස මැතිවරණ කල් දමමින් සිටියි. එසේම මේ වනවිට පාලකයින් සහ සාමාන්‍ය ජනතාව අතර තිබෙන්නා වූ සම්මුතින් බිඳ වැටී ඔවුන් කෙරෙහි තිබූ ප්‍රසාදයන් ජනතාවගෙන් තුරන් වී ඇත. තවද 2022 වර්ෂයෙහි පුරවැසි නැගිටීමෙන් පසුව අලුත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිර්මාණය වූ අරගලයක් ශ්‍රී ලාංකීය සමාජය තුළ බිහිවී ඇත. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වුවහොත් පැරණි දේශපාලනය හට සිය බලය රැක ගැනීමට නොහැකි වේ. මේ හේතුවෙන් නැවත ජනමත විමසුමක් පැවැත්වීම තුළින් අදාළ පාලකයින් හට බලයට පැමිණීමට නොහැකි බව වැටහී ඇති පසුබිමක, මැතිවරණ පැවැත්වීම අනුචිත ක්‍රියාවක් බව පාලකයින් හට පසක් වී ඇත. මේ ආකාරයට ව්‍යවස්ථාදායකය තුළ පවත්නා ක්‍රම ඔස්සේ බලය මර්දනය කිරීමට කටයුතු දරන අතර ඒ අසාර්ථක වූ තැන දේශපාලන නායකයින් ඝාතනය කිරීම දේශපාලන ව්‍යාපාර මර්දනය කිරීම ආදී කටයුතු ඔස්සේ සිය මර්දනකාරී වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යෑමට ද ඉඩ පාර්ශ්වයන් කටයුතු කරයි.

එසේම මැතිවරණය පිළිබඳව කතාබහ කරළියට පැමිණීමත් සමග ලාංකීය දේශපාලනය තුළ පොදු අපේක්ෂකයෙක් පිළිබඳව අසාර්ථක කතාබහක් ද පසුගිය දිනවල පැවතුණි. නමුත් ඇතැම් දේශපාලනඥයන්ගේ දේශපාලන භාවිතාවත් සමග එය මුළුමනින්ම පාහේ අසාර්ථක, හාස්‍ය උත්පාදිත තත්ත්වයට පත් විය. එපමණක් නොව පොදු අපේක්ෂකයා හට පක්ෂ අනන්‍යතාවයක් නොමැති වීම හේතුවෙන් වගකීම් සහගත භාවයක් නොමැති තත්ත්වයකට පත්විය. මේ හේතුවෙන් ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ පොදු අපේක්ෂකයා යන නාමය සමාජ වටිනාකමක් නොමැති, කල් ඉකුත් වූ සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය.

මෙලෙස දේශපාලන පොරපිටිය මැතිවරණ උණුසුමින් වැසී තිබෙන්නා වූ කාල වකවානුවක, රටෙහි දේශපාලනයෙහි අනාගත දිශානතිය පිළිබඳව තීරණය කිරීමේ අයිතිය තිබෙනුයේ ජනතාව සතුවය. එහිදී බාල, තරුණ, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව තම ජන්දය බුද්ධිමත්ව භාවිතා කිරීම ඔවුනට පැවරෙන්නා වූ වගකීමකි. නමුත්, දේශපාලන සාක්ෂරතාවය අතින් ලාංකීය ඡන්ද දායකයින් බෙහෙවින් දුර්වල මට්ටමක සිටීම ගැටලුවට තුඩු දෙන කාරණාවක් වී ඇත. එපමණක් නොව පවත්නා දේශපාලන ක්‍රමයෙහි වෙනසක් දැකීමට නම්, සමාජයෙහි සෑම ස්ථරයකම පුරවැසියන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලැබිය යුතු පසුබිමක වර්තමාන දේශපාලන සන්දර්භය තුළ තරුණයින්ගේ ක්‍රියාකාරීත්වය 80-90 දශකයන්ට සාපේක්ෂව මුළුමනින්ම පාහේ වෙනස් ස්වරූපයක් දරනු ලැබේ. පොදුවේ ගත් කල දේශපාලනික රැස්වීම් සමුළු ආදියට පවා තරුණයින්ගේ සහභාගිත්වය බෙහෙවින් අඩු මට්ටමක පවතියි. එයට හේතුව වන්නේ තරුණයන්ගේ අරගල මාවත සමාජ මාධ්‍යය බවට පරිවර්තනය වීමය. එසේම ඒ හා සමානවම කාන්තා දායකත්වය ද වර්තමාන දේශපාලනය තුළ අවම මට්ටමක පවතියි. ලාංකීය සමාජයෙහි මුළු ජනගහනයෙන් ඡන්දය හිමි කාන්තාවන් ප්‍රමාණය 56%ක් වනමුත් ලාංකීය දේශපාලනයට කාන්තා දායකත්වය නොලැබෙන තරම්ය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ සමාජ, සංස්කෘතික අංශයන්ගෙන් කාන්තාව වෙතට එල්ලවන්නා වූ පීඩනයයි. එබැවින් දේශපාලනය සඳහා කාන්තා දායකත්වය වැඩිකර ගැනීමට ව්‍යවස්ථාදායකය මෙන්ම පක්ෂ මට්ටමින් ද කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මට්ටමින් සියයට පනහ පනහ නියෝජනයක් ලැබෙන සේ කාන්තාවන් හට දේශපාලනයට ප්‍රවේශ වීමට ඉඩ ලබාදීම ද වැදගත්ය.

එබැවින්, ලාංකීය පුරවැසියන් වශයෙන් අපගේ පරම යුතුකම වන්නේ, සෑම අංශයකින්ම බිඳ වැටී තිබෙන්නා වූ රට නැවත ගොඩනැංවීම උදෙසා තමන්ට ලැබෙන්නා වූ අවස්ථාවන්හිදී බුද්ධිමත්ව කටයුතු කිරීම ය.

● එච්.කේ.එස්. නවෝදා හඳරාගම

advertistmentadvertistment
advertistmentadvertistment