රෑ පනවන බදු… – කල්ල මරේ…

801

ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා පාර්ලිමේන්තුව ඊයේ දෙබරෙට ගල් ගැසුවා සේ ඇවිස්සී තිබිණි. දැන් බැලු බැල්මට දූෂිත නොවූ තැනක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අටැක් සෙවීම තරම් අමාරු කාරියක් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් අවුල පැත්තක තිබියදී අප අද කතා කරන්නට යන්නේ සීනි බදු පළහිලව්ව ගැනය.

ගෝඨාභය ජනාධිපති වී ටික දිනකින් ආනයනික සීනි කිලෝවක් මත අය කළ විශේෂ වෙළෙඳ බද්ද රුපියල් පනහේ සිට ශත විසිපහ දක්වා පහළ දැමීය. හිටපු ජනාධිපති ඒ තීරණය ගත් පසු මෙරටට සීනි ආනයනය කරන ප්‍රධාන සමාගමක් හුටු ගා සීනි ආනයනය කළේ ගජරාමෙට ලාභ උපයමිනි. විශේෂ වෙළෙඳ බද්ද රුපියල් පනහේ සිට ශත විසිපහට අඩු කළ පසු නැව්පිටින් සීනි ගෙනා එකී සමාගම රුපියල් බිලියන ගණනක අමතර ලාභ ලබා ඇත. රජයේ විගණකාධිපති කළ විගණනයට අනුව මාස කිහිපයකදී රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි එක්දහස් පන්සියයකට අධිකය. රටට අහිමි ඒ බදු ආදායම අයකර ගත යුතු බව විගණකාධිපති සිය වාර්තාවේ දක්වා තිබී ඇත. නමුත් රටට අහිමි වූ ඒ බදු ආදායම අදටත් අයකරගෙන නැත.

මේ අතර සීනි බද්ද වෙනස් කිරීමට සූදානමක් තිබී ඇත. ඉකුත් මාස තුනක කාලයේදී සිනි ආනයන දත්ත රජයේ මුදල් කාරක සභාව ලබාගෙන ඇත්තේ රේගුවෙනි. සීනි බද්ද වැඩි කරන්නට යන ආරංචිය සැණින් ගියේ ප්‍රධාන පෙළේ ආනයනික සමාගමකටය. බද්ද වැඩි කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට එන්නටත් පෙර ඒ පිළිබඳ සමාගම් දැනගත්තේ කෙලෙසින් ද? මෙහි ප්‍රතිඵලය වූයේ එක්තරා ආනයනික සමාගමක් වහාම සීනි මෙටි්‍රක් ටොන් 18,000 ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමය. මෙකී සමාගම ඇතැම් විට මසකට සීනි මෙටි්‍රක් ටොන් 2000 කට වඩා ගෙන්වන සමාගමකි. සීනි කිලෝවකට ශත විසිපහක විශේෂ වෙළෙඳ බද්ද රුපියල් පනහ දක්වා වැඩිකරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මෙකී සමාගම සීනි නෞකාවක්ම මෙරටට ගෙන්වාගෙන ඇත. ජාවාරම්කරුවන් හැමතැනකමය. රේගුවෙන් මේ ඔත්තුව සමාගමට ගියේ දැයි අපි නොදනිමු. මුදල් අමාත්‍යාංශයෙන් මේ ඔත්තුව සමාගමට ලැබුණේ ද? නැතිනම් මේ ඔත්තුකරුවා සිටින්නේ කොතැන දැයි අපි නොදනිමු. මෙරටට සීනි ආනයනය කරන සමාගම් දහයක්, පහළොවක් ඇත. කැබිනට් මණ්ඩලයට ගෙනඑන යෝජනාවක් ඊට පෙර සමාගම්වලට යන්නේ නම් රටේ ජාතික ආරක්‍ෂාවට වුව ද එය අනතුරුදායකය.

මේ පිළිබඳ කැබිනට් ඇමැතිවරයකු වන මනුෂ නානායක්කාර ද පරීක්‍ෂණයක් ඉල්ලා ඇත. සීනි බද්ද වෙනස් වන බව දැන සිටියේ රේගු නිලධාරීන් බවට ද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ඇතැම් විට සමාගම සීනි තොගය මෙරටට ගෙන එන්නට ඇත්තේ බද්ද වෙනස්වීමට පෙර විය හැකිය. බද්ද වැඩි කළේ ඊට පසුව දැයි ප්‍රශ්නයකි. ඇමැති මනුෂම ඒ ප්‍රශ්නයම නඟා ඇත්තේ මේ හුටප්පරේ ඇත්ත නැත්ත හෙළි කළ යුතු බව කියමිනි.

වරක් මේ සමාගමේ කරල පැහුණේ සීනි කිලෝවකට පනවා තිබූ බද්ද රුපියල් පනහේ සිට ශත විසිපහට බැස්සවීම නිසාය. ඉන් සමාගම ලැබූ අමතර ලාභය කෝටි ගණනකි. රටට අහිමි වූ බදු ආදායම රුපියල් එක්දහස් පන්සියයකි. රටට අහිමි වී ගිය එකී බද්ද සමාගමෙන් ලබාගත යුතු බවට පෙර කී විගණන වාර්තාව ද හුඹස් පෙට්ටිය තුළය. දැන් තවත් වරක් සමාගමට ඉල්ලමක් පෑදී ඇත. ශත විසිපහක බද්ද තිබියදී ගෙනා සීනි තොගය වෙළෙඳපොළට යන්නේ රුපියල් පනහක විශේෂ වෙළෙඳ බද්දට වෙට්ටු දමමිනි. වෙට්ටුව නිසා සමාගම කෝටි ගණන් උපයද්දී මට්ටු වෙන්නේ අහිංසක පාරිභෝගිකයන්ය. රටම වළපල්ලකය. එහෙව් රටක තුන්වේල කන්නට මුදල් නැති මිනිසුන් හෙණ ඉල්ලන එකේ වරදක් ද් නැත. හැමතැනම හොරකමය. කොමිස්ය. අතයට ගණුදෙනුය. ශ්‍රී ලංකා ක්‍රිකට් මහත්වරුන්ගේ නම් රෙදි ගැලවී හමාරය. ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ගේ රෙදි ගලවා හමාරය. ඒත් ඒ ලොක්කන්ට වගේවගක් නැත. තාමත් ඒ අය යහතින්ය. මුදල්වලට ලැජ්ජාවක් නැත. ක්‍රිකට් තරග පාවාදීමේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එල්ල වන චෝදනා අපමණය. ජාතිකව ද ජාත්‍යන්තරව ද එල්ල වන චෝදනාවලට උත්තර ද නැත. අවසාන ප්‍රතිඵලය ද බින්දුවය. ඉකුත් ඉන්දීය තරගයේදී ලංකාවේ බිංදු ගොඩ හරියට දුරකථන අංකයක් බවට පෙරළිණ. ඒත් මේ කිසිවකුට වගේවගක් නැත. වී අලෙවි මණ්ඩලයේ වී තොග වංචාවක පාඩුව කෝටි දහයකි. හරියටම කියන්නේ නම් නම කෝටි අනූනම ලක්ෂ අනූනමදහස් දෙසිය පනස් දෙකකි (99,999,252) මෙරට මත්පැන් සමාගම් පහක් පැහැර හැර තිබෙන බදු පොල්ල රුපියල් කෝටි හැටහයකි. වී තොග වංචාවට නිලධාරීන් පස්දෙනෙක්ගේ වැඩ තහනම් කර ඇත. සුරාබදු පොලු තැබූ සමාගම් පහක ලයිසන් අත්හිටුවා ඇත. හොර මගඩිවලට දෙන දඬුවම් එපමණය.

සීනි බදු වංචාව එකක් පමණකි. එකම දේ දෙවිදිහකට වී ඇත. ඊළඟ පාර තවත් විදිහකට සිදුවනු ඇත. බංකොලොත් රටක වෙසෙන අහිංසක පොදු මහජනතාවට අබ සරණය. නිල වශයෙන් බංකොලොත් රට ඉවරෙටම ඉවරයි කියා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරුම සිදු වන දේ ඇතැම් අයට නොතේරෙන බව අපගේ විශ්වාසයය.

advertistmentadvertistment
advertistmentadvertistment