පාස්කු බෝම්බයේ ශේෂ පත්‍රය

627

පාස්කු සහ බෝම්බය යන වචන දෙක කිසිසේත්ම නොගැළපේ. එහෙත් 2019 අප්‍රේල් 21 දා සිට පාස්කු බෝම්බය යනුවෙන් වචනයක් මෙරට නිර්මාණය වී තිබේ. වෙසක් සහ කඩුව යන වචන දෙක අතර කිසිදු ආකාරයක සහසම්බන්ධයක් නැත. එසේම හජ්ජි සහ මනුෂ්‍ය ඝාතන යන දෙක අතරද ගැළපීමක් නොවේ. නත්තල් සහ ඇසිඩ් යනුවෙන් ඇති වචන දෙක කිසිදු ආකාරයකට ගළපන්නට බැරිය. මේ නොගැළපීම් කෙසේ වෙතත් පාස්කු බෝම්බය යන යෙදුම මේ රටේ ජනතාව අතර මුල් බැසගෙන තිබීම අවාසනාවකි. 1942 පාස්කු ඉරිදා දවසේදී ජපන්නු ශ්‍රී ලංකාවට බෝම්බ දැම්මාහ. එම බෝම්බ වැටුනේ අංගොඩ මානසික රෝහලටය. එය ඉතා විනාශකාරී තත්ත්වයකි. එසේ වීයයි කියාවත් පාස්කු බෝම්බය යනුවෙන් යෙදුමක් බිහිවුණේ නැත. අද වනවිට පාස්කු බෝම්බය යනුවෙන් කියූ විට 2019 අප්‍රේල් 21 දා මොහොමඩ් සහරාන් ඇතුළු අන්තවාදී ඉස්ලාමීයයන් පිරිසක් ලංකාවේ තැන් අටකට බෝම්බ ගසා 250 ට වැඩි පිරිසක් ඝාතනය කර තවත් එබඳුම පිරිසක් අබ්බගාතයන් බවට පත්කර සදාකාලිකවම ඇඳවල් මත සිටීමේ ශෝකජනක ඉරණමට පත්කළහ. පාස්කු බෝම්බය යනු කිසියම් ආගමිකයන් පිරිසක් විසින් තවත් ආගමක් විනාශ කිරීම සඳහා යොදාගන්නා ලද ක්‍රියාවලියකි.

2019 පාස්කු ඉරිදාව අප්‍රේල් 19 දාට යෙදී තිබුණද මෙවර එය සමරන ලද්දේ ඊයේට යෙදුනු ඉරිදා දවස තුළ හෙවත් 9 දාය. ලෝක ඉතිහාසය පුරාම ආගමික ගැටුම් සහ ආගමික යුද්ධ තිබිණ. ඉතිහාසය සහ ශිෂ්ටාචාරය සංවර කරන ලද්දේ ආගම සහ අධ්‍යාපනය විසිනි. ඉන් පසු එම ශිෂ්ටාචාරය මත ලේ ඉසින ලද්දේද ආගමික අරමුණු විසිනි. මොහොමඩ් සහරාන් පාස්කු බෝම්බය පුපුරුවන්නේ කතෝලිකයන්ට ගේමක් දෙනු පිණිසය. මේ බෝම්බ පිපිරීමෙන් පසු මරාගෙන මැරුණු සහරාන් හිතන්නේ ආගම වෙනුවෙන් දිවි දුන් තමා දෙව්ලොව යන බවය. එසේම මේ ආකාරයෙන් දෙව්ලොව යන අයට දෙව්ලොවදී අඩුපාඩුවක් නැතිව තරුණ ගැහැණුන් ලැබෙන බවටද අව්‍යක්ත මතයක් තිබේ. සහරාන් පාස්කු බෝම්බ පත්තු කළේ මේ කාරණාවද සිහියේ තබාගෙන නම් ඔහු කර ඇත්තේ අංක එකේ ගොන් වැඩකි. සහරාන් හවස පහෙන් පස්සේ මරදානට, වැල්ලවත්තට හෝ පිට කොටුවට ගියේ නම් ඔහුට සිය දිවි කැප නොකරම ස්ත්‍රී පහස ලබා ගැනීමට හැකියාවක් තිබිණ. මේ සඳහා අවශ්‍ය කරන්නේ රුපියල් දෙතුන් දාහක ගනුදෙනුවක් සහ හෝටල් කාමරයක් පමණි. එසේම සහරාන් පාස්කු බෝම්බය පත්තු කළ කාලයේදී මුදලට ගණිකාවන් සපයන වෙබ් සයිට් හතරක් පහක්ම ලංකාවේ තිබිණ. මේ සියල්ලම එක්කෝ ඔහුට මිස් විය; නොඑසේ නම් ඔහු සිය කැමැත්තෙන්ම මිස් කරන්නට ඇති. එයට හේතුව විය හැක්කේ ඔහු මරදානේ හෝටල් කාමරයකදී නොව දෙව්ලොවදී රති කෙළියෙහි යෙදෙන්නට කල්පනා කර තිබීමය.

මොහොමඩ් සහරාන්, සාරා ජස්මින් ඇතුළු පිරිස 2019 පාස්කු බිමේදී තැන් 8 දී බෝම්බ පුපුරුවන ලදී. කොච්චිකඩේ පල්ලිය, මීගමුවේ ශාන්ත සෙබස්තියන් පල්ලිය, මඩකලපුවේ ‘zion පල්ලිය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, කිංග්ස්බරි හෝටලය, ෂැන්ග්‍රීලා හෝටලය, දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය, දෙමටගොඩ නිවාස යෝජනා ක්‍රමය යන තැන්වලදී මේ පිපිරීම් සිදුවිය. සහරාන්ගේ සැලසුම වුණේ පාස්කු ඉරිදාවේදී මේ හෝටල්වලට රැස්වන කතෝලිකයන් ඝාතනය කිරීමය. මේ බෝම්බ ප්‍රහාර නිසා ලංකාවේ ආර්ථිකයට නන්නත්තාර වන පරිදි තුවාල සිදුවිය. සංචාරක කර්මාන්තය එහෙම පිටින්ම බිඳ වැටුණු අතර ඒ එක්කම කොවිඩ් වසංගතය රට තුළ පැතිර ගිය බැවින් ඊළඟ අවුරුදු තුන පුරාම විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වැළකී සිටියහ. සහරාන්ගේ ආගමික වියරුව සමග කොවිඩ් වසංගතය අත්වැල් බැඳ ගැනීම ඉතාම සාහසික ඛේදවාචකයකි. එහි හානිය අපි ඇස් පනා පිටම භුක්ති විඳිමින් සිටිමු.

පාස්කු බෝම්බයෙන් මියගිය පිරිස කතෝලිකයන් වුවද ඔවුන්ගේ ජාතිය සිංහලය. මේ ප්‍රහාරය නිසා සිංහල මුස්ලිම් කෝලාහලයක් ද පටන් ගනු ඇතැයි සහරාන් අපේක්ෂා කරන්නට ඇති. එහෙත් මේ රටේ බුද්ධිමත් ජනයා එවැනි කුණු වැඩකට අත ගැසුවේ නැත. සාමාන්‍ය පිළිගැනීමට අනුව පාස්කු බෝම්බයේ ප්ලෑන් එක ක්‍රියාත්මක කළ නියම මිනිසුන් තවමත් අත්අඩංගුවට ගෙන නැත. එසේම සහරාන් පසුපස සිටි ආගමික තක්කඩි රැලද සොයා ගැනීමට හැකිව නැත.

සහරාන්ගේ පරම්පරාවේ ආගමික අන්තවාදීන් නිතරම කල්පනා කරන්නේ තමන් දෙවියන් සමග කෙලින්ම ගනුදෙනු කරන බවය. මෙය කිසියම් උන්මාද තත්ත්වයකි. ඕනෑම ආගමික අන්තවාදියකුට මෙසේ සිතීමට ඉඩ තිබේ. එහෙත් මෙසේ සිතන තරුණයන් ගැන ආරංචි වූ විට ඇතැම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් එම තරුණයන්ට අරමුදල් සපයන්නට පටන්ගනී. ආගමික අන්තවාදී සංවිධාන ලෙස සැළකෙන අල්කයිඩා, අයි එස් අයි එස් වැනි සංවිධාන සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඇප්ලිකේෂන් දැමිය යුතු නැත. එවැනි සංවිධානයක සාමාජිකත්වයක් ලබා ගැනීමට අපේක්ෂා කරන අය කළ යුත්තේ විරුද්ධ ආගමික කණ්ඩායමකට පුංචි අත් බෝම්බයක් ගසා කිසියම් ආගමික සිද්ධස්ථානයකට හානි කිරීම පමණි. අදාළ අන්තවාදී තරුණයා නොදන්නවාට ඔහුගේ ක්‍රියාකාරීත්වය මැදපෙරදිග සිට monitor කරන උදවිය සිටිති. ඉස්ලාම් අන්තවාදී කොල්ලෙක් පිස්සුවක් කෙළින බව ආරංචි වූ සැණින් සෞදි අරාබියෙන් එන මහත්මයෙක් බේරුවල හෝටලයක නැවතෙයි. ඊළඟට අන්තවාදී තරුණයා හමුවන ඔහු තරුණයා අතට සල්ලි බෑග් එකක් දී දිගටම කඩාකප්පල්කාරී වැඩ කරගෙන යන ලෙස උපදෙස් දෙයි. සමහරවිට එම සල්ලි බෑග් එකේ රුපියල් ලක්ෂ 50 ක් පමණ තිබේ. අන්තවාදී තරුණයා එතෙක් පැවති තම හුදකලා ප්‍රචණ්ඩත්වයට සාමාජිකයන් බඳවා ගැනීම මෙතැන් සිට අරඹයි. මේ කුඩා ප්‍රමාණයේ සංවිධාන ක්ලැන්ඩස්ටයින් පොකට්ස් ලෙස හඳුන්වනු ලැබේ. මෙවැනි පොකට් දහස් ගණනක් පාකිස්ථානයේත් ඉන්දියාවේත් ඇත. මේ පොකට් හිස් කිරීමට කිසිදු ආණ්ඩුවකට බැරිය. පාස්කු බෝම්බය යනු සහරාන්ගේ පොකට් එකේ උපරිම අවස්ථාව වේ. එය මේ රටේ ඉතිහාසයේ ලේ පැල්ලමක් බවට පත්වන්නේ එයින් මියගිය හෝ තුවාල ලැබූවන් නිසා පමණක් නොව එමගින් මේ රටේ සර්වාගමික ජනතාවගේ හදවත් තුළ හටගත් තුවාල නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment