බල ගැටුම මාරුවීම

782

ඔටෝමන් අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු බි්‍රතාන්‍යය, ‘පලස්තීනය’ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ පාලනය අතට ගත්තේ ය. මැද පෙරදිග එම ප්‍රදේශය පළමු ලෝක යුද සමයේ දී පාලනය කළේ ඔටෝමන් අධිරාජ්‍යය යි. එම භූමියේ යුදෙව් සුළුතරයක්, අරාබි බහුතරයක් හා අනෙකුත් කුඩා වාර්ගික කණ්ඩායම් වාසය කළහ. එහෙත් වර්තමානයේ එය වෙනම කතාවකි. නිරන්තර ලේ ගලා යන ගැටුම් සහිත භූමියක්, කලාපයක් බිහිව ඇත. හමාස් ඊශ්‍රායල් යුද්ධයට මාසයකට අධික කාලයක් තිස්සේ ඇදී යයි. එය කවදා අවසන් වේද යන්න දන්නා කෙනෙක් නැත. අනවර්ත ගැටුමකි. මේ ගැටුම නිසා ලංකා දූපතේ වැසියන්ටද පටි තදකර ගන්නට වන්නේ මේ අර්බුදය හමුවේ තෙල් මිල වැඩි වන නිසාය. තෙල් මිල වැඩිවන විට ගෑස් මිලද ඉහළ යයි. මාසයක් පුරා ඇවිලුණු සටන් හේතුවෙන් ගාසා හි මියගිය දරුවන් ප්‍රමාණය 4,100 කි. මියගිය මුළු පිරිස දසදහස ඉක්මවයි. එය බරපතළ ඛේදයක් නොවන්නේද? මේ දරුවන්ගේ ජීවිතවලට වගකියන්නේ කවරෙක්ද? ගාසාවේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවකු මියයයි. සෑම මියගිය පුද්ගලයන් දස දෙනකුගෙන් හතර දෙනෙක් දරුවන් වේ. මේ ප්‍රහාරවලින් ළමුන් 1,270ක් ද ඇතුළුව 2,260ක් පමණ දෙනා අතුරුදන්ව සිටියි. ඔවුන්ගෙන් බහුතරය සුන්බුන් යට වැළලී ඇතැයි විශ්වාස කෙරෙයි. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නම් දසදහසක් ඝාතනය වූ බවට සිදු කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකාව ලෝකයේ අනෙක් රටවල යුද අපරාධ සොයන නමුත් ගාසාවේ සිදු කරන මහා පරිමාණ ඝාතන ගැන ඇස් වසා සිටී. එහෙත් මේ මරණවලට ඊශ්‍රායල් හමුදාව මෙන්ම හමාස් සංවිධානයද එකසේ වගකිව යුතුය. ඔක්තෝබර් 7 සෙනසුරාදා අලුයම හමාස් ත්‍රස්තයන් ඊශ්‍රායලය පුදුමයට පත්කරමින් සිදු කළ “ඔපරේෂන් අල්-අක්සා ෆ්ලඩ්” මෙහෙයුම මේ සියලු ඝාතන ආරම්භයට හේතු විය. “අල්-ඩෙයිෆ්” මේ ප්‍රහාරයේ මහ මොළකරුය. ලංකාවේ මෙන් ඊශ්‍රායල් ජනතාවට මහ මොළකරු සෙවීමේ පිස්සුවක් නම් නැත. “අබු ඛලීඩ්” සහ “අල්-ඩෙයිෆ්” යන අන්වර්ථ නාමවලින් හඳුන්වන මහ මොළකරුගේ ඇත්ත නම මොහමද් දියාබ් අල්-මස්රි ය. ඔහු හමාස් සංවිධානයේ හමුදා හස්තය වන ඉස් අල්-දීන් අල්-කසාම් බළකායේ නායකත්වය දරයි. පලස්තීනුවන් ඔහු දැන සිටින්නේ, “ද මාස්ටර්මයින්ඩ්” ලෙස වන අතර ඊශ්‍රායල ජාතිකයන් ඔහු “ද මෑන් ඔෆ් ඩෙත්” හෝ “ද ෆයිටර් විත් නයින් ලයිව්ස්” ලෙස හඳුන්වයි. ඊශ්‍රායල හමුදාව ඩෙයිෆ් ඝාතනය කිරීමට නිරන්තරව උත්සාහ කරන අතර 2014 දී මොහු ඉලක්ක කරගෙන එල්ලවූ ප්‍රහාරයකින් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනකු මරණයට පත්විය.

හමාස් සංවිධානය ලෝකයේ අවධානය දිනා ගැනීම සඳහා සාමාන්‍ය වැසියන් පලිහක් ලෙස යොදා ගන්නා බව රහසක් නොවේ. දිනෙන් දින ඉහළ යන ළමා මරණද තමන්ගේ වාසිය සඳහා යොදා ගනී. එහෙත් ලෝක බලවතුන් මැදිහත්ව මේ ගැටුම නැවත්වීමට පියවර ගත යුතුය. ඇමෙරිකාව නිහඬව සිටින්නේ එරට බලවත් යුදෙව් ප්‍රජාව සෑමවිටම ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින නිසාවෙනි. හමාස් ප්‍රහාරය නිසා යුක්‍රේන යුද්ධයට ලැබී තිබූ ලෝක අවධානය සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හැරිණි. මේ නිසා අසරණ වූයේ රුසියාව නොව යුක්‍රේන ජනපතිවරයායි. පුටින් රහසේ සිනාසෙන විට කිවි ආණ්ඩුව අතරමං විය. ලෝක බලතුලනය පිළිබඳ ගැටුම යුක්‍රේනයෙන් ගාසා වෙත මාරුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment