කප් එකට තව ටික දවසයි….

691

එක් එක් අයගේ තොරතුරු හෙවත් කොම්පැණිවල තොරතුරු, ජනයාගේ තොරතුරු, සමාජයේ තොරතුරු ඇතුළු බොහෝ තොරතුරු පිළිබඳ සමීක්‍ෂණ කර එම තොරතුරු ලේඛනගත කර කාට කාට හරි විකුණා ගාණක් සොයා ගත හැකි බව මෙයට අවුරුදු සියයකට පෙර විසූ ජනයා දැන සිටියේ නැත. එහෙත් 1946 නොවැම්බර් 05 වැනිදා ලන්ඩනයේදී අලුත් කොම්පැණියක් උපන්නේය. මේ කොම්පැණිය සංගමයකි. එහි 23 දෙනෙක් සේවය කළහ. මේ සංගමයේ අරමුණ වූයේ සමාජයේ තිබෙන විවිධ තොරතුරු ගැන සොයමින් ඒවා ලේඛනගත කර වෙනත් පුද්ගලයන්ට සැපයීමය. මේ තොරතුරු ඒවා ලබාගන්නා අයට ඉතා ප්‍රයෝජනවත් විය. ඉහත සඳහන් කොම්පැණියේ නම වෙළෙඳපොළ සමීක්‍ෂණ සංගමය ලෙස හඳුනා ගන්නා ලදී. පසුකාලයේදී සමීක්‍ෂණ කිරීමේ කර්මාන්තය ලොව පුරා පැතිර යමින් ජන සමාජයටත් දේශපාලනයටත් විශාල වශයෙන් බලපෑම් කරන වෙළෙඳාමක් බවට පත්විය. මේවා අතරින් සමහර කොම්පැණි විවිධ පාර්ශවවල වුවමනාව පරිදි මුදලට සමීක්‍ෂණ සිදුකොට ව්‍යාජ වාර්තා හදා විකිණීමෙන් ගාණක් හොයා ගන්නට පුරුදු වූහ. උදාහරණයක් වශයෙන් කිසියම් වෙළෙඳ භාණ්ඩයක් ගැන සමීක්‍ෂණයක් කිරීමට භාරගන්නා එම කොම්පැණි වැඩේ භාරදුන් අයගෙන් ගාණක් කපාගෙන ගල් පැලෙන බොරු සහිත වාර්තාවක් පිළියෙල කර ඒ සමාජයට මුදාහළහ. මෙවැනි කොම්පැණි වැඩි කලක් පවතින්නේ නැත. ඔවුන් ගනුදෙනුකරුගෙන් අල්ලස් ගෙන ව්‍යාජ තොරතුරු සහිත වාර්තා සාදන බව දැනගත් සැණින් ඔවුන් පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිණ. විවිධ දේ පිළිබඳ පර්යේෂණ පවත්වා සමීක්‍ෂණ වාර්තා හදන සමාගම් 1970 වන විට ලංකාවට පැමිණෙමින් තිබිණ. මේ සියල්ලම වෙනත් රටවල ආධාර ලැබූ රාජ්‍ය නොවන සංවිධාන වෙති. පසුකාලයේදී මේ සමීක්‍ෂණ සමාගම් රට පුරා විශාල වශයෙන් හටගෙන විවිධ වංචනික වාර්තා සකස් කොට මුදල් උපයන්නට පටන් ගත් බැවින් ඉතා ස්වල්ප කාලයක් තුළ නෝන්ඩි වී කුජීත ද වී යනඑනමං නැති තත්ත්වයකට පත්විය. වෙරිටේ රිසර්ච් සමාගම යනු පෙරකී ආකාරයෙන් බොරු කියා නෝන්ඩි නොවූ මෙරට තිබෙන පරීක්‍ෂණ සමාගම් දෙක තුනෙන් එකකි. අපගේ කතාවේ ඉතිරි ටික මෙතැනින් පටන් ගනිමු.

කිසියම් කොන්ත්‍රාත්කරුවකු දූෂණ සහ වංචා සිදුකර ඒවාට වරදකරු වීම ඔවුන් අසාදු ලේඛනයට ඇතුළත් කිරීම සඳහා හේතුවක් ලෙස නොගන්නා දකුණු ආසියාවේ එකම රට ලංකාව බව වෙරිටේ රිසර්ච් සමාගම අලුත්ම සමීක්‍ෂණ වාර්තාවකින් දක්වා තිබේ. ගිවිසුම්ගත බැඳීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ලංකාව තුළ ඕනෑ තරම් ප්‍රතිපාදන තිබෙන බවත් 2006 අවුරුද්දේ ලංකාවට හඳුන්වාදෙන ලද ටෙන්ඩර් මාර්ගෝපදේශවල හිඩැස් නිසා පෙරකී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛන මඟහැර ව්‍යාපාරවල නිරත වන බවත් වෙරිටේ සමාගම තවදුරටත් කියයි. මේ නිසා පෙර කී වරද කරන කොන්ත්‍රාත්කරුවෝ බ්ලැක් ලිස්ට් නොවෙති. දකුණු ආසියාවේ හැම රටකම හොර කොන්ත්‍රාත්කරුවන්ගේ දත්ත ගබඩාවක් ඇති බවත් නේපාලයේ දත්ත ගබඩාව තුළ එවැනි හොර කොන්ත්‍රාත්කරුවන් 629 ක් සිටින බවද, බංග්ලාදේශ දත්ත ගබඩාව තුළ හොර කොන්ත්‍රාත්කරුවන් 510 ක් සිටින බවද වෙරිටේ රිසර්ච් ආයතනය හෙළිකර තිබේ. මෙවැනි දත්ත ගබඩාවට ඇතුළුවීමෙන් පසු එවැනි කොන්ත්‍රාත්කරුවන් පල්හොරුන් සේ සැලකෙන අතර ඔවුනට ආණ්ඩුවේ හෝ පුද්ගලික අංශයේ වැඩ භාරදෙනු නොලැබේ.

හොර කොන්ත්‍රාත්කරුවන් බ්ලැක්ස් ලිස්ට් නොවී නිදහසේ ව්‍යාපාරවල යෙදීම හැඳින්විය හැක්කේ නිතර පිහියක් අතේ තබාගත් මිනීමරුවකු ජන සමාජයේ නිදැල්ලේ හැසිරීම වැනි වැඩකි. අවස්ථාවක් ලැබුණ සැණින් මිනී මරුවා කාට හෝ පිහියෙන් අනී. එසේම අවස්ථාවක් ලැබුණු සැණින් හොර කොන්ත්‍රාත්කරුවා කුමක් හෝ ජල්තරයක් කරයි. ලංකාවේ මහා මාර්ග තැනීමේ කර්මාන්තයේ නිරතව සිටින කොන්ත්‍රාත්කරුවන් අතර පල්හොරු බහුලව සිටිති. ඔවුන් අඩි 20 ක් පළල පාරක් කාපට් කිරීමට භාරගත් විට එම අඩි 20 ප්‍රමිතිය පවත්වාගෙන නොගොස් හැකි සෑම විටකම පාරේ පළල අඩි 19 ක් හෝ 18 ක් කරන්නට බලයි. මෙවැනි පාරක කිලෝමීටර් 100 ක වර්ග අඩි කිලෝමීටර් 100 හෝ 200 ක් අඩුවන බැවින් ඉතා හොඳ ලාභයක් ලබාගැනීමට හොර කොන්ත්‍රාත්කරුට පුළුවන. එසේම කාපට් පාරකට කාපට් යෙදීමේදී ඝනකම පිළිබඳ ප්‍රමිතියක් පවතී. කාපට් එකේ ඝනකම නිසි ප්‍රමිතියෙන් අඟලක් අඩුකළ විට සෑහෙන ජරාවක් සාක්කුවට දමාගැනීමට කොන්ත්‍රාත්කරුවන්ට හැකිය. රජයේ බිල්ඩින් ඉදිකරන කොන්ත්‍රාත්කරුවන් අතර ද මෙවැනි පල්හොරු සිටිති. එසේම රජයේ රෝහල්වලට ඖෂධ සපයන කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩිදෙනාද හැකි සෑම විටම උපරිමයෙන් හොර කරති. බෙහෙත් වෙනුවට ඇල්වතුර සහිත එන්නත් කුප්පි නිකුත් කළ හොර සැපයුම්කරුවකු නිසා හිටපු සෞඛ්‍ය ඇමැති සහ පාරිසරික ඇමැතිවූ කෙහෙළිය රඹුක්වැල්ල අද රිමාන්ඩ් එකේ කූරු ගනිමින් සිටී. හරියාකාර පරීක්‍ෂණයක් කළොත් මේ රටේ දේශපාලනඥයන් විශාල ප්‍රමාණයකට හොර කොන්ත්‍රාත්කරුවන් නිසා හිරේ යෑමට සිදුවනවා ඇත.

ඒ අතර තවත් වැදගත් කාරණයක් කියමු. දකුණු ආසියාවේ දූෂිත කොන්ත්‍රාත්කරුවන් වැඩිපුරම සිටින රට ලංකාව නොවන බව අපගේ මතය වේ. එවැනි හොරුන් වැඩිපුරම සිටින්නේ කාම්බෝජයේය. හොර වැඩකර හිරේ නොගොස් ඉවතට රිංගා යෑම සඳහා අවශ්‍ය හිල් එරට ප්‍රසම්පාදන නීතිය තුළ ඕනෑ තරම් ඇත. ඒ අනුව කොන්ත්‍රාත් අංශයේ නරක රට ලංකාව බවට ඇති වෙරිටේ රිසර්ච් මතය බිඳ වැටේ. කෙසේ වුවද හොරකම් අංශය පළවැනි තැන නැතත් දෙවැනි තැන අපට අනිවාර්යයෙන්ම ලැබෙන්නේය. සමහර විට තව අවුරුද්දකින් පමණ එම අංශයේ මුල් තැන ලබාගැනීමට අපට හැකි වෙනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment