කල්පිටියේ රාජ්‍ය වෙසක් උත්සවය අතරතුර දළුව හන්දියේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමාව පැය 5 ක් ඇතුළත ගලවාගෙන ගිහින්- ආගමික සංහිඳියාව මේකද: අපි උසාවි යනවා- මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි

149

කල්පිටියේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙද්දී කල්පිටිය පාර දළුව හන්දියේ පෙරේදා (04 වැනිදා) උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය 5 ක් ගත වීමටත් මත්තෙන් ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනකු අන්‍ය ආගමික ප්‍රධානීන් කීප දෙනකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත් වී ගලවාගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම එළැඹෙන බවත් කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ ‘දිවයින’ට පැවසූහ.

තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බන්ධ කර තිබූ කොන්ක්‍රීට් තට්ටුව ද කඩා පසුව එම ප්‍රතිමා වහන්සේ නොරොච්චෝලේ පොලිසියට රැගෙන ගොස් තිබූ බව ද උන්වහන්සේ කීහ.

වෙසක් සතියේ බෞද්ධාගමට සිදුකරන මෙවැනි කෙනෙහිලිකම් සම්බන්ධයෙන් මහා සංඝයා වහන්සේලා හැටියට දැඩි අප්‍රසාදය පළ කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීහ.

කල්පිටියේ මේ දිනවල රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙනවා. එයට සමගාමීව අපි කරඹ ජයන්ති ධර්මවර්ධනාරාමයේ ඉඳලා උත්සවශ්‍රීයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවනු ලැබුවා. ඒ කියන්නේ මැයි 04 වැනිදා සවස 2.00 ට විතර. බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වුණා. අපි පෙරහැරකින් ඇවිත් බුද්ධ ප්‍රතිමා වහන්සේ දළුව හන්දියේ තැන්පත් කළා. පස්සේ අපි තව වැඩකට ගියා. ඒ ගිය ටිකට තමයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගලවාගෙන ගිහින් තියෙන්නේ. මෙතන ප්‍රබල දේශපාලනඥයෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට ප්‍රධාන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා. අන්‍ය ආගමික පූජකයන් හතරදෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනා බෞද්ධ නොවන අය. ආගමික සංහිඳියාව කියන්නේ මේකටද?

බුද්ධ ප්‍රතිමා වහන්සේ නොරොච්චෝලේ පොලිසියේ තියෙනවා. තැන්පත් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේව මෙහෙම ගලවාගෙන එන්න මේ අයට බලයක් ලැබුණේ කොහොමද? වෙසක් මංගල්‍යය තියෙන වෙලාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පොලිසියේ. ශාසනාරක්ෂක බල මණ්ඩලය හැටියට අපි අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා. මේක තනිකරම බෞද්ධාගමට එල්ල කරපු මරු පහරක්. මේ ගැන බුද්ධ ශාසන අමාත්‍යවරයා වහා අවධානය යොමු කරන්න ඕනෑ. අනිත් එක මේ බුදු පිළිමය තැන්පත් කළ ස්ථානය කාටවත් හානියක් නැහැ. බෞද්ධ, කතෝලික, මුස්ලිම් කියන ඕනෑම ආගමක ඉන්න කෙනෙකුට නිදහසේ තම ආගම සමරන්න අදහන්න නිදහස තියෙන්න ඕනේ. කොහොම වුණත් අපි වෙසක්වලින් පස්සේ මේ ගැන පැමිණිලි කරන්න අධිකරණයට යනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment