ශූරයන්ගේ කුසලාන තරගාවලියත් සිහිනයක් වෙයි

396

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 08 අතරට පත්වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලාන තරගාවලියට ප්‍රවේශ වීමට තිබූ අවස්ථාව අහිමි විය.

තරගාවලිය නිමාවීමට එක් තරගයක් පමණක් ඉතිරිව තිබියදී එනම් ඊයේ (12 වැනිදා) වනවිට ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ පසුවූ අතර ශ්‍රී ලංකාවට පසු පසින් සිටියේ නෙදර්ලන්තය පමණි.

නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව ද තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු හතරක් ලබා ඇති අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ නෙදර්ලන්ත ඉන්දියා තරගයෙන් ඉන්දියාව පරාජය වුවහොත් නෙදර්ලන්තය ද ශ්‍රී ලංකාව පසුකර යනු ඇත.

තරගාවලියේ පෙරේදා ඔස්ටේ්‍රලියාව හා බංග්ලාදේශය අතර පැවති තරගය බංග්ලාදේශය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ අවසන් තරගය වන අතර ඉන් බංග්ලාදේශය පරාජයට පත්වුවද ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය හිමිවිය.

ඒ අනුව ඊයේ පැවැත්වීමට නියමිත ඉන්දියා නෙදර්ලන්ත තරගයේ ප්‍රතිඵලය කුමක් වුව ද ශ්‍රී ලංකාවට 8 වැනි ස්ථානයට පැමිණීමට හැකියාවක් නොලැබේ.

2025 වර්ෂයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ලෝක කුසලාන තරගාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 8 පමණක් තෝරා ගනු ලබයි.

1998 ආරම්භ වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියේ මේ දක්වා පැවති අදියර අටටම ශ්‍රී ලංකාව සහභාගි වී තිබෙන අතර ඊට ශ්‍රී ලංකාව සුදුසුකම් නොලබන පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේද සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වී ඉන් තම සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවය.
කුෂාන් සුබසිංහ ඉන්දියාවේ දිල්ලි සිට

advertistmentadvertistment
advertistmentadvertistment