නවසීලන්තයත් අවසන් පූර්ව වටයට

375

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය පරදවා එංගලන්තය ජයග්‍රහණය කිරීමත් සමග ලෝක කුසලාන අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.

ඒ අනුව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා වරම් ලද අවසන් කණ්ඩායම බවට පත්වීමට නවසීලන්තය පෙරේදා (11 වැනිදා) සමත් වූයේය.

ඒ අනුව ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 වේ.

එංගලන්තය සහ පාකිස්ථානය අතර පෙරේදා රාත්‍රි පැවති තරගයෙන් එංගලන්තය හමුවේ පරාජය වූ පකිස්තානයට 5 වැනි ස්ථානය හිමි කණ්ඩායම ලෙස තරගාවලිය අවසන් කරන්නට සිදුවුණි.

තරගාවලියේ තමන් සහභාගි වූ තරග 9 අතරෙන් තරග හතක් ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තුන්වන ස්ථානවල පසුවේ.

නවසීලන්තය තරග 5 ක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයට පත් වීමට සමත් වූයේය.

තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරග 8 ම ජයග්‍රහණය කළ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ඊයේ ඔවුන් මූලික වටයේ තම අවසන් තරගය ලෙස නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතව සිටියේය.

ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය ලෙස ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ හතරවන ස්ථානවල පසුවන ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය ලබන 15 වැනිදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී තරග වදිනු ඇත.
කුෂාන් සුබසිංහ ඉන්දියාවේ දිල්ලි සිට

advertistmentadvertistment
advertistmentadvertistment