උ. පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව රු. දහසකින් නංවයි

47

2021 (2022) වර්ෂයේ පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේදී අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව 2024 පෙබරවාරි මස සිට රුපියල් දහසකින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරන ලද ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වෙසෙන ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ ඉදිරි අනාගතය යහපත් කිරීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්ව ලබා දෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ජනාධිපති අරමුදල විසින් ශිෂ්‍යත්වලාභීන්ට මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා ඇත. ශිෂ්‍යත්ව මුදල ඉහළ නැංවීමත් සමඟ 2024 පෙබරවාරි මාසයේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සෑම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් පිරිනැමෙනු ඇත.

එසේම 2022/2023 වර්ෂයට අදාළව අ.පො.ස. සා/පෙළ ඉහළින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් තෝරාගෙන එම සිසුවා/සිසුවිය අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනී සිටින තෙක් මාසිකව රු. 6000ක මුදලක් ප්‍රදානය කිරීමට ද ජනාධිපති අරමුදල මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි කලාප මට්ටමින් මේ වන විට තෝරාගැනීම් සිදු කරනු ලබන අතර තෝරා ගැනීම් අවසන් වූ වහාම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ.

මීට අදාළව ඉදිරියේදී යාවත්කාලීන කරනු ලබන තොරතුරු කඩිනමින් දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව www.facebook.com/president.fund හා නිල යූටියුබ් නාළිකාව www.youtube.com/@PresidentsFund like/ ඔස්සේ සබ්ස්ක්‍රයිබ් කර තබාගන්නා මෙන්ද www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බවද ජනාධිපති අරමුදල දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment