ඇමැති ටිරාන් උත්තරය මඟහරී: සෙංකෝළයට අත තිබ්බ මාන්නප්පෙරුමට සති 4ක් මැති සබය තහනම්

651

මැති ඇමැතිවරු නැගිට යති: විපක්‍ෂයේ අය හූ කියති

ඇමැති ඉක්මනට උත්තර දෙන්න – කථානායක

දැන් පරක්කුයි – ඇමැති ටිරාන් අලස්

ඇමැති ඉන්නවානම් උත්තර දෙන්න ඕනෑ – කිරිඇල්ල

ඇමැති උත්තර දෙන්න බැඳී ඉන්නවා – විපක්‍ෂ නායක සජිත්

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට සති හතරකට පාර්ලිමේන්තුව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19දා) කටයුතු කළේය.

මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමැතිවරුන්ගෙන් අසනු ලබන ප්‍රශ්න වටය ආරම්භයේ ප්‍රථම ප්‍රශ්නය ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු නොදීම නිසා මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා සභාවේ මැදට පැමිණ සෙංකෝලය උදුරා ගැනීමට තැත් කරමින් උණුසුම් ලෙස හැසිරීම හේතුවෙන් කථානායකවරයා මෙම තීරණය ගත්තේය.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 කට කල් තැබීමට ද කථානායකවරයා කටයුතු කළ අතර පාර්ලිමේන්තු කටයුතු දැක බලා ගැනීමට පැමිණ සිටි පාසල් ළමුන් ද ඉවත් කිරීමට කටයුතු කෙරිණ. පසුව විනාඩි 10 කට පසු පාර්ලිමේන්තු කටයුතු අරඹමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේ සෙංකෝලය ස්පර්ශ කිරීම බරපතළ විනය විරෝධී කටයුත්තක් වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට ඊයේ සිට සති 04 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කරන බවයි.

පාර්ලිමේන්තුවේ ඊයේ දිනය නියමිත කටයුතු කරන අතර තුරදී විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ ප්‍රශ්න නැගීම හේතුවෙන් පෙරවරු 10.30 වන විටත් න්‍යාය පත්‍රයට අනුකූලව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසීම ආරම්භ කර නොතිබිණි. එහිදී ප්‍රථමයෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් අජිත් මාන්නපෙරුම මහතා ප්‍රශ්නයක් අසා තිබිණ. එහෙත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පෙරවරු 10.30 වන විට ප්‍රශ්නවලට උත්තර ලබා දීමේ අවස්ථාව ආරම්භ කර නොතිබූ බැවින් ඇමැතිවරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට උත්තර ලබා දීම අදිමදි කළේය. එහිදී ටිරාන් අලස් ඇමැතිවරයා වෙත ඔහු සමීපයේ සිටි මැති ඇමැතිවරුන් “බෑ කියන්න” දැන් වෙලාව නෑ කියන්න, උත්තර දෙන්න එපා, අපි යන්, ඔයා යන්න අයියේ” ආදී වශයෙන් උපදෙස් දෙනු ඇසිණ. ඉන් පසුව සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහිදී මෙවැනි සංවාදයක් ඇතිවිය.

කථානායක – ඇමැතිතුමා ඉක්මනට ප්‍රශ්නයට උත්තරය දෙන්න.

ටිරාන් අලස් මහතා – දැන් වෙලාව පරක්කුයි නේද කථානායකතුමනි, වෙලාව දහයහමාරත් පැනලා.

කථානායක – නෑ. උත්තර දෙන්න.

ටිරාන් අලස් මහතා – හරි මම සභාගත කරනවා කථානායකතුමනි.

කථානායක – දහයාමාරට ප්‍රශ්න අහන වෙලාව ඉවර කෙරුවා. (සභාවේ ඝෝෂා)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – අපි පහසුව සඳහා නොනිල වශයෙන් වෙලාව වෙන් කර ගන්නවා. ඒත් ඒවා ස්ථාවර නියෝගවල නෑ. ඔබතුමාට 10.30ට නවත්වන්න බෑ. ඇමැතිවරයා ඇවිල්ලා ඉන්නවා නම් උත්තර දෙන්න ඕනා.

කථානායක – වෙලාව නාස්ති කළේ මම නොවෙයි විපක්ෂයේ ඔබතුමන්ලා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා – දැන් අනුර දිසානායක මහතා නැගී සිටියහම ඔබතුමා ඒකට ඉඩ දීම ප්‍රතික්ෂේප කරලා වාචික පිළිතුරු ලබා දීම ආරම්භ කරන්න කිව්වා. ඉන් පසුව අජිත් මාන්නපෙරුම මහතා ප්‍රශ්නය අහනවා කිව්වහම අදාළ ඇමැතිවරයා උත්තර දෙන්න බැඳී ඉන්නවා. කථානායකතුමා නියෝගයක්වත් දුන්නේ නෑ උත්තරය සභාගත කරන්න කියලා. එහෙනම් ඇමැතිවරයා බැඳී සිටිනවා පිළිතුර ලබා දෙන්න.

කථානායක – දැන් මේකෙන් අපි තවත් කාලය නාස්ති කරනවානේ. දැන් ඇමැතිතුමාලා කතා කරන්න ඕනේ නෑ ‘අර ඇමැතිතුමාට කියන්න උත්තරය දීලා ඉවර කරන්න කියලා. ඊට පස්සේ අපිට ඉදිරියට යන්න පුළුවන්. මහජන ආරක්ෂක ඇමැතිතුමා උත්තරය දීලා ඉවර කරන්න. (සභාවේ ඝෝෂා) ඔය නැගිටලා ඉන්න ඇමැතිතුමාලා දෙන්නටම මේ ප්‍රශ්නය අදාළ නෑ. කරුණාකරලා ඔබතුමන්ලා ඉඳගන්න. මේ අනවශ්‍ය ප්‍රශ්නයක් හදන්නේ නැතුව.

(ආණ්ඩුවේ අමාත්‍යවරු කිහිපදෙනෙක් නැගිට යති. විපක්ෂයේ මන්ත්‍රීවරු හූ කියති. සභාවේ ඝෝෂා)

(විපක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සභා ගැබ මැදට පැමිණ කථානායක අසුන වෙත එමින් තම ප්‍රශ්නයට උත්තර අවශ්‍ය බව කියමින් කෑ ගසයි.)

කථානායක – මම නොවෙයි කාලය නාස්ති කළේ, ඔබතුමන්ලා. ඉතින් ඇමැතිතුමා උත්තර දීම ප්‍රතික්ෂේප කළා.

අජිත් මාන්නපෙරුම මහතා සෙංකෝලය ආසන්නයට පැමිණේ. වේත්‍රධාරී සෙංකෝලයේ ආරක්ෂා කිරීමට පෙරට පැමිණ සෙංකෝලය සිය අතට ගනී. විපක්ෂයේ හෙක්ටර් අප්පුහාමි, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ අශෝක් අබේසිංහ යන මන්ත්‍රීවරු ද මාන්නපෙරුම මන්ත්‍රීවරයාගේ සහායට පැමිණෙති.

කථානායක- මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා ඉතාම අශෝභනයි ඔය හැසිරීම. කරුණාකරලා මන්ත්‍රීතුමන්ලා ඔතනින් ඉවත් වෙන්න. කරුණාකරලා යන්න මෙතනින්. ඔබතුමා වගේ කෙනෙක් නොකළ යුතු වැඩක් ඔය කළේ. ඉතාමත් කැතයි. එකක්වත් කරන්න හම්බවෙන්නේ නෑ. කරුණාකරලා ඔතනින් යන්න. සභාවේ කටයුතු මම විනාඩි 10කට මම නතර කරනවා. (විනාවි 10කට පසුව සභාවේ කටයුතු නැවත ඇරඹේ)

කථානායක – ස්ථාවර නියෝග අංක 77-3 ප්‍රකාරව බරපතළ විනය විරෝධී ක්‍රියාවක් ලෙස සභා ගර්භයේ තැන්පත් කර ඇති සෙංකෝලය ස්පර්ශ කිරීම හැඳින්විය හැකියි. අජිත් මාන්නප්පෙරුම මහතා විසින් අද දින එම වැරැද්ද සිදු කරන ලද බැවින් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බවට දන්වනු කැමැත්තෙමි. ඊට අමතරව මන්ත්‍රීවරු විනයානුකූලව කටයුතු කළ යුතු බවද මෙයින් තවදුරටත් දැනුම්දෙනු ලැබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment