ගෝඨාභයට  යළි එන්න මේ සුදුසු  කාලය නොවේ – රනිල් ජාත්‍යන්තර සඟරාවකට කියයි

129

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නැවත ලංකවට පැමිණීම සඳහා මෙය සුදුසු කාලය නොවන බව තම විශ්වාසය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ නමැති ජාත්‍යන්තර සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ යළි දිවයිනට පැමිණීම ආර්ථික අර්බුදය හමුවේ තමන් නෙරපා දැමීමට පෙළගැසී සිටින දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතරේ යළි විරෝධයක් ඇති කිරීමට හේතු වනු ඇතැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ‘මම හිතන්නේ අපි දැන් ගල් පතුළටම ඇදවැටී අවසන්. මට උමඟ කෙළවරේ ආලෝකය පෙනෙනවා. අපි උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් ඒ වෙත ළඟා වීමට’ යැයිද ප්‍රකාශ කර ඇත.

රටේ පවතින දැවැන්ත උද්ධමනය මෙන්ම ඉන්ධන, ඉවුම් පිහුම් ගෑස් ආදී ගැටලුවලින් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට තම ආර්ථික තත්ත්වයේ ධනාත්මක වෙනසක් දැකීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අයි.එම්.එෆ්. අරමුදල් ලබා ගැනීමේ ගිවිසුම්වලට එළැඹීමේදී කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක කර ගැනීම ඉතා වැදගත් වන අතර අදාළ සාකච්ඡා මෙම අගෝස්තු මාසය අවසන් වන විට සාර්ථක කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව ද, දේශපාලන ස්ථාවරත්වයක් තිබුණේ නම් ජුලි මාසයේදී අයි.එම්.එෆ්. අරමුදල් ලබා ගැනීමට අවස්ථාව තිබුණ බවද ජනාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment