84 හැවිරිදි තිදරු මව ඝාතනය කර කරාබු යුවළ කොල්ල කාලා

373

නිවසේ තනිවම සිටි 84 හැවිරිදි තිදරු මවක් ඝාතනය කර ඇය පැළඳ සිටි රන් කරාබු යුගල ඝාතකයන් විසින් රැගෙන ගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසීය.

මුඛය රෙදි කැබැල්ලකින් සිරකර, රෙදි පටියක් ආධාරයෙන් ගෙල සිරකර මෙසේ ඝාතනය කර ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ උතුරුමැද කුඹුර වතුයායේ එන්. සී. කොටසේ පදිංචිව සිටි අම්මාසි මුකායි නමැති තිදරු මවයි.

වටගොඩ ප‍්‍රදේශයට ඉකුත් 08 දා පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමග තිදරු මව නිවසේ නිදා සිට ඇති බවත්, එම අවස්ථාවේ නිවසට ඇතුල් වූ කිසියම් අයකු විසින් ඇය ඝාතනය කර පැළඳ සිටි රන් කරාබු යුවළ රැුගෙන ගොස් ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටී.

මියගිය කාන්තාවගේ දරුවන් එම අවස්ථාවේ නිවසේ සිට නැත. එම දරුවන් පස්වරු 4.30 ට පමණ නිවසට පැමිණ මව නිදා සිටි නිසා එයට බාධා නොකර පසුව පස්වරු 6.30 ට පමණ පරීක්ෂා කර බැලීමේදී මව ඝාතනය කර ඇති බවට නිරීක්‍ෂණය වීමත් සමග ඒ පිළිබඳ දරුවන් විසින් තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් නලීන් තිලකා හේරත් මහත්මිය විසින් ස්ථාන පරීක්ෂාව සිදුකළ අතර එහිදී මහෙස්ත‍්‍රාත්වරිය තලවකැලේ පොලිසියට නියෝග කර සිටියේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නුවරඑළිය පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ සහයෝගය ලබාගෙන අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇත.

නුවරඑළිය – නාලක රත්නායක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා, මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment