අන්නාවිරාළ

78

අන්නාවි තැන හැටියට පල්ලි එන අයගේ වැරදිම සොයලා විතරක් මදියි කියා මට හිතුණා. ඔවුනගේ හොඳ ගති ගුණ ද අප පෙන්වා දිය යුතුය.

කතෝලිකයන් බොහෝවිට බැහැපත් අය යැයි කියමනක් මා අසා තිබෙනවා. විශේෂයෙන් කතෝලිකයන් පිනට දහමට දානයට ළැදි බෙදාගෙන කන බදාගෙන නොකන ජාතියක් ලෙස ද එදා සිටම පරසිදු කොට්ඨාසයක් බව නොරහසකි.

එය පහදා දීමට ඕනෑවටත් වඩා කරුණු අන්නාවි හැටියට මා ළඟ තිබෙනවා. කතෝලිකයන් පල්ලියට ආදරේය. කිසිම ලෝබකමක් නොමැතිව පල්ලිය උදෙසා වියපැහැදම් කරනා කිතුනුවන් අප මීසමේද සිටී. එය නම් සතුටටම කරුණකි.

ඇත්තෝ මුදලින් හදලින්ද නැත්තෝ ශ්‍රමයෙන් දහදියෙන් ද සේවය කරනවා. මේක තමයි කතෝලිකයින්ගේ ස්වභාවය.

ජේසු උගන්වා වදාළ දේ අකුරටම කරනා කිතුනුවන් දැකීමත් සතුටකි. ඔවුනගේ පවුල් ජීවිත තුළ මහා සැනසීමක් ඔවුන් විසින් අත්දකිමින් සිටී. ජේසු කළේ ද එයයි.

වසරේ එක් මාසයක දේව මෑණියන්ගේ ප්‍රතිමාව මුළු මීසමේම නුවාන මට්ටමින් නිවෙස් කරා වැඩම වීමක් මුළු රට පුරාම දේවස්ථාන විසින් සිදුකෙරේ. අපේ මීසමේ ද එය ජයටම සිදුකරනවා.

ඇතැම් නිවෙස්වල අය ලොකුවට සංග්‍රහා ද කරනවා. ඒකට නම් පියතුමා විරුද්ධයි. එක අතකට එයත් සුහදකම, බැහැපත්කම පෙන්නුම් කරනා අවස්ථාවක් යැයි මට සිතේ.

දෙව් මවුට මීසම්වාසීන් තුළ ඇති භක්ත්‍යාදරය ඉන් මොනවට පෙන්නුම් කෙරේ. මාසයක් පුරාවට සෑම නිවෙසකටම ගොඩවදින දේව මෑණියන් අවසානයට නැවත දෙව් මැඳුර වෙතට පැමිණෙන අවස්ථාව බැතිමතුන් තුළ ශෝචනීය භාවයක් ඇති කරයි.

මේ අවස්ථාවේ මීසම්වාසීන් තුළ ඇති භක්තිය ඉතා ලස්නට විද්‍යාමානවේ.

කතෝලිකයින් ජේසුට, දේව මාතාවනට, සාන්තුවරයනට වන්දනාමාන හා ගෞරව දක්වන දැහැමි මිනිස් කොටසකි.

එයින් ලැබෙන පිහිට ආශීර්වාදය අත්විඳ නොමැති කිතුනුවකු මෙදියතේ සිටීදැයි සැකසහිතය. පල්ලියේ මීසමේ මුනිවරයා හෝ මුනිවරිය තම ග්‍රාමයේ ග්‍රාමාරක්ෂකයාය.එහි වටිනාකම හා පිහිට අත්විඳින්නේ මීසම්වාසීන්ය.

ඒ නිසා ග්‍රාමයේ මංගල්‍යය කිතුනුවනට නත්තල මෙන්ම සතුට දනවන මහා උත්සවකි. ඥාතීන්, යහළු මිත්‍රාදීන් පිරිවරාගෙන මංගල්‍යයේ සතුට භුක්ති විඳින්නේ ඒ නිසාය. ජේසු, ජනයාට උගන්වා ඇත්තේ බෙදා හදාගෙන ජීවත්වන අන්දමය. උන්වහන්සේ කල්වාරි ගමන තෝරා ගත්තේ අපේ පව් බර වැඩි නිසාය. ඉතින් අපි කතෝලිකයින් හැටියට අන් අය උදෙසා ජීවත්වෙමු. බෙදාගෙන කමු. වෛර නොකරමු. බැහැපත් වෙමු. මෙසේ වී ඔබ අත්විඳින සතුට මෙනෙහි කරන්න. දෙවියන් වහන්සේට සියල්ල කළ හැක.

මේ වදන නිතර නිතර සිහිකරන්න. මෙනෙහි කරන්න. ඉන් ඔබ ලබනා සතුට, සුවය ඔබම අත්විඳ බලන්න.

සැමටම ජේසු පිහිටයි.

ලයනල් පී.පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment