දේශපාලනීකරණය වූ කිතු දහම

74

“දෙවියන් වහන්සේ මෙම යේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝම සාක්ෂිකාරයෝ වෙමු.” (ක්‍රි.යා. 2:32)

දෙවියන් වහන්සේ දී ඇති සම්පත් අයුතු ලෙස පරිහරණය කරන ලෝකයක අප ජීවත් වන්නෙමු. මෙය ලෝක මට්ටමින් පමණක් නොව දේශීය වශයෙන්ද අපි දකිමු. බයිබලය තුළින් තමන්වම අනාවරණය වන දෙවියන්, ලෝකයේ දුක්විඳීම් පැත්තකට වී බලා සිටින දෙවි කෙනෙකු නොවේ. දේව ස්වරූපයෙන් මවන ලද ජනතාවගේ වේදනාව සහ අසාධාරණය ඇසෙන දකින දෙවියන් ගැලවුම්කාර දෙවියන් ලෙස මෙලොවට පැමිණේ.

දුක්විඳින මනුෂ්‍යත්වය ගලවා ගැනීමට ක්‍රිස්තුන් ලෙස හඳුන්වන යේසුස් මෙලොවට වැඩි සේක. අඩු තරමින් පැති දෙකකින් එතුමන් ජනතාවගේ දුක් වේදනාවන් දුටු සේක. පළමුව, ආගමික බලයේ සිටින අයගේ ඉගැන්වීම, චාරිත්‍ර වාරිත්‍ර සහ අධිකාරීත්වය නිසා යේසුස් තුමාගේ සන්දර්භය තුළ අසාධාරණ ලෙස දුක්විඳිති. මෙම කරුණු ඔප්පු කිරීමට ජෙරුසලමේ මාළිගාව පවිත්‍ර කිරීම සඳහා එරිසිවරු වන ආගමික නායකයන් සමග ඇති වූ ගැටුම් ප්‍රමාණවත්ය. දෙවන කරුණ නම් තමන් පාලනය කරන රෝම අධිකාරීත්වය සහ රෝම බලය වේ.

තමන්ගේ කාලය තුළ එකල සිටි ආගමික නායකයන් හා අධිකාරීන් සමග නොයෙක් වර ඇති වූ ගැටුම් යේසුස්ව ප්‍රතික්ෂේපවීමට හේතු සාධක වේ. යේසුස් තුමාව මරණයට පත්කිරීමේ කුමන්ත්‍රණය, අධිකාරී බලයේ සිටි ආගමික නායකයන් සහ රෝම අධිරාජ්‍යයේ බලවතුන්ගේ අතින් සිදුවිය. ආගමික හා දේශපාලනික ආයතන දෙකම සතුරන් විය. ආගමික සංවිධානයන් සහ බොහෝ බලවත් දේශපාලන අධිකාරීන්ට අභියෝගයක් වූ යේසුස්ව මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම හැර මෙම දෙපළ අතර වෙන පොදුවේ කිසිවක් නොවීය.

එදත් අදත් සිදු වූයේද සිදු වන්නේද එසේමය. තමන්ට තර්ජනයක් යැයි සිතන ඕනෑම බලවේගයක් විනාශකර දැමීමට ආයතනගත ආගම්, දේශපාලන සහ ආර්ථික බලවතුන් එකට එක්ව කටයුතු කරති. මෙම ද්වන්ද සම්බන්ධතාවය “ආගමික දේශපාලනීයකරණය” සහ “ දේශපාලන ආගම්කරණය” යන පැති දෙකෙන්ම අපට දැකගත හැකිය.

යේසුස් ක්‍රිස්තුන්ට සිදු වූයේ මෙයයි. නාසරෙත් ප්‍රකාශනය තුළින් (ලුක් 4:18-20) දෙවිඳුන්ගේ දර්ශනය ලොවට ගෙනා තම අනුගාමිකයන්ගේ වටිනාකම් අනුගමනය කරන ලෙස ඉල්ලූ අවුරුදු 33ක් වයසැති අහිංසක මිනිසාව අත්අඩංගුවට ගෙන නින්දිත ලෙස මරාදමනු ලැබීය. මිනිස් කල්පනාවෙන් බලන කල එය යේසුස්තුමාගේ සේවයේ අවසානයයි. එය එසේ අවසන් නොවීය. ඇයි? දෙවිඳුන් මැදිහත් වී යේසුස්ව නැවත නැගිට්ටුව සේක. පාස්කුව නමින් සමරන උත්සවයේ අර්ථය එම නැවත නැගිටීමේ කතාවයි. පාස්කුව යනු නපුරට නැත කියාද, දෙවියන් වහන්සේ යුක්තිසහගත ජීවිතයකට ඔව් කියාද වේ. (ක්‍රියා 2:31-32) පේදුරුතුමාගේ ප්‍රකාශනයක් වන දෙවියන් වහන්සේ යේසුස්තුමාව නැගිට්ටුව සේක. ඒ සඳහා අපි සාක්ෂිකාරයෝ වෙමු යන්න තේරුම් ගැනීමට අපව කැඳවා ඇත.

යේසුස් මරණින් නැගිටූ බව අපි සාමාන්‍යයෙන් කියමු. දේවධර්මානුකූලව එය සාවද්‍යය. යේසුස්ව මරණින් නැගිට්ටෙව්වේ දෙවියන් වහන්සේය. මෙම ලෝකය තුළ සාක්ෂි දැරීමට අප අදහන විශ්වාස කරන දෙවියන් එතුමන්ය. පාස්කුව යනු දේවාස්ථානයකට අප රැස්වී “යේසුස් නැගිට ඇත” යන්න ප්‍රකාශ කරන දිනයක් පමණක් නොවිය යුතු අතර, එය නැවත නැගිටි යේසුස්තුමා අප ජීවිත තුළට පැමිණ යුක්තියට ඔව් කීමටද, අයුක්තියට නැත කීමටද අපව පරිවර්තනය කරන ධෛර්යමත් කරන දෙවියන් වහන්සේගේ මාර්ගය පිළිබිඹු කරන දිනයකි.

ආචාර්ය රියෙන්සි පෙරේරා පියතුමා
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – දේවධර්ම
ශාස්ත්‍රාලය පිළිමතලාව (ලංකා සභාව)

දේශපාලනීකරණය වූ කිතු දහම
advertistmentadvertistment
advertistmentadvertistment