දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහිවීම නවතා දෙන්නැයි දෙමව්පියෝ ඉල්ලති

45

ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහිවූ දරුවන් ඉන් බේරාගැනීමට මැදිහත් වන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලීම් වැඩි වැඩියෙන් ලැබෙමින් පවතින බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම තත්ත්වය එක්තරා ආකාරයක මානසික ව්‍යාකූල තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ සභාපතිවරයා මෙසේ ද කීය.

විශේෂයෙන්ම ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වගේ ආයතනවලට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට, පොලිසියට මේ සම්බන්ධයෙන් දෙමාපියන්ගෙන්, ජංගම දුරකථනවලට දරුවන් දැඩි ලෙස ඇබ්බැහිවෙලා කියලා ඔවුන් කියනවා. ඒ ඇබ්බැහිතාවය සම්බන්ධයෙන් දරුවන්ට කරුණු පැහැදිලි කරන්න ගියාම ඔවුන්ට තරහ යනවා ගෙවල්වල කලහකාරී ලෙස හැසිරෙනවා, ප්‍රචණ්ඩව හැසිරෙනවා කියලා ඔවුන් අපිට කියනවා. මේ නිසා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා ඉල්ලීම් එනවා.

මේ වගේ තත්ත්වයක් තුළදී අපි මව්පියන්ගෙන්, භාරකරුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන් සමග ගැටුම් ඇතිකරගන්න ඔවුන්ට දඬුවම් කරන්න, බලපෑම් කරන්න එපා කියලයි. ඔවුන් සමග සමීප සම්බන්ධතාවයක් ඇතිකරගන්න. හැම විටම අත්‍යවශ්‍ය කාරණයකදී හැරුණුකොට ජංගම දුරකථන භාවිත කළ හැකි අවස්ථා සහ අවකාශයන් අවමකර ගැනීමට මව්පියන් කටයුතු කිරීම තුළින් මේ තත්ත්වයට යම්කිසි ආකාරයක පිළියමක් යොදන්න පුළුවන්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment