බඩගින්නට උත්තර හොයන මිනිස්සු…

බඩට කන්න, කනකර බඩු උකස් කළ කාලය දැන් හමාරය. එයට හේතුව රටේ තත්ත්වය යහපත් අතට පත්වීම නොව බොහෝමයක් මිනිසුන්ගේ කනකර බඩු බැංකුවලට සින්න වී හමාර වීමයි. එහෙත් මේ පවතින අර්බුදය ද මෙතැනින් නිමා වන්නේද නැත. මේ වන විට ඉන්න හිටින්න කියා තිබූ පැල්පත ද දැන් බොහෝදෙනකුට අහිමි වී අවසන්ය. තමන්ගේ සන්තකේටම කියා නොකා නොබී ඉතිරි කරගත් යාන වාහන ද අද ඔවුන්ට නැත. ඒවාද ෆිනෑන්ස් ආයතන අත්පත් කරගෙන හමාරය. ඒ මදිවාට අද ඔවුන්ට ඉතිරිව ඇත්තේ ෆිනෑන්ස් ආයතනය මගින් පවරන ලද නඩු පමණකි. මෙරට තුළ ජනතාව මෙතුවක් කලක් රන් බඩු, යාන වාහන, ඉඩකඩම්, නිවාස පවා උකසට තබා ජීවත්වන්නට හුරු පුරුදුව සිටියත් දැන් ඔවුන්ට තවත් උකසට තබන්නට හෝ විකුණන්නට දෙයක් ඉතිරිව නැත. එසේ නම් ඉදිරියේදී සිදුවන්නේ මෙරට ජනතාවට බඩගින්නේ සිටීමට ද යන්න විමසීමට කාලය දැන් එළැඹ ඇත.

බඩට කන්න උකස් කළ දේපළවල වටිනාකම කෝටි 19300 ක්

මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකින්ය. එහිදී අනාවරණය වී ඇති පරිදි පසුගිය (2022) වසර මුල් මාස 10 තුළ බලපත්‍රලාභී වාණිජ බැංකු 13 ක සහ උකස් ආයතන 10 ක පමණක් රුපියල් බිලියන 193 ක, එනම් කෝටි 19300 ක රන් භාණ්ඩ උකස්කොට ඇති බවකි. ඒ ඔවුන් 2022 වසරේ ඔක්තෝබර් මස කරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵලයකි. එහෙත් අද වනවිට ඒ තත්ත්වය තවත් වෙනස් වී ඇත. මේ වනවිට අපට අසන්නට ඇත්තේ එම ගණන රුපියල් කෝටි තිහකටත් ආසන්න බවකි.

බඩගින්නට සින්න වූ දේපළ……

බඩගින්න අප කාහටත් පොදුය. මිනිසුන් රැකියාවක් කරන්නේ ජීවත්වීමටය. ජීවත් වීමේදී ආහාර ප්‍රධාන කොට, ඊට අමතරව ඇඳුම්- පැළඳුම්, බේත්-හේත් ආදිය ගත යුතුය. ලැබෙන ආදායමට වඩා ඉහළ වියදමක් දැරීමට වන මේ කාලය තුළ ජනතාව දිනෙන් දින වැටෙන්නේ කබලෙන් ළිපටමය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා අපට සඳහන් කළ පරිදි, පසුගිය අවුරුදු තුන තුළ දිවයිනෙහි පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් කනකර ආභරණ වැඩි වශයෙන් බැංකුවල හා පෞද්ගලික උකස් ආයතනවල තබා එයින් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් බැංකුවලට සින්න වී ඇති බවයි. ඔහු අප වෙත පැවසූ ආකාරයට කෘෂිකර්මාන්තය සඳහා බොහෝ පිරිසක් තම කනකර ආභරණ උකස් තබා කෘෂිකර්මාන්තයේ යෙදී ඇත. එහෙත් පසුගිය කාලයේ අපේ රටේ කෘෂිකර්මාන්තයට උදාවූයේ ඉතාමත්ම අපල කාලයකි. මේ අපලයෙන් බැට කෑ අපේ රටේ ගොවියන්ගේ ජීවිතවලට ද පසුගිය කාලය කණකොකා හැඬූ බවද අප හොඳින් දනිමු. මෙරට වී ගොවියාගේ සිට එළවළු ගොවියා දක්වාම කෘෂිකර්මාන්තය සඳහා තමන්ගේ කන-කර උකසට තැබුවේ අස්වැන්න ලබාගත් පසු උකසට තැබූ රන් ආභරණ බේරා ගැනීම පිණිසය. එහෙත් පොහොර ප්‍රශ්නය හේතුවෙන් අපේ රටේ ගොවියාට අත්වූ ඉරණම නිසා අද ඔවුන්ට අස්වැන්නත් නැත. එමෙන්ම සන්තකයේ තිබූ රන් බඩු ද නැත. ඇතැම් ගොවීන් තමන් සන්තකයේ තිබූ ට්‍රැක්ටරය ද උකසට තැබුවේ තමන් වැටී සිටි තැනින් ගොඩ ඒමටය. එහෙත් මේ වනවිට ෆිනෑන්ස් ආයතන මගින් ඔවුන්ගේ වාහන සියල්ලම අත්පත් කරගෙන හමාරය. සින්න වූ දේපළ අතර නිවාස, ගොඩනැඟිලි, ඉඩම් වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ ද අයත්ය. මේ ආදී ඉඩම් හා වාහන විශාල සංඛ්‍යාවක් අද උකස්කරුවන්ට අහිමිවී ඇති බව බැංකු හා ණය දෙන ආයතනවල හිමිකරුවන් පවසා සිටී.

උකස් කළ ඉඩම්වල හිමිකරුවන් ණය සහන මණ්ඩලයට ඇපකරුවන්ට ඇපත් නෑ

පවතින ආර්ථික අර්බුද හේතුවෙන් පීඩා විඳින විශාල පිරිසක් තමන් සතු ගේ දොර, වතුපිටි, ගොඩ මඩ කාර්මික ඉඩම්වල ඔප්පු විවිධ පුද්ගලයන්ට සහ ආයතනවලට උකස්කර ණය මුදල් ආපසු ගෙවීමට නොහැකිව ණය සහන මණ්ඩලයට පැමිණෙන බව එම ආයතනය අනාවරණය කරයි. මෙසේ ණය සහන මණ්ඩලය මගින් ජනතාවගෙන් ලැබෙන අයැදුම්පත් හැටක් පමණ දිනපතා විභාග කරන බව ද එහි සඳහන් වේ. තවද රාජ්‍ය බැංකු මගින් හා පෞද්ගලික බැංකු මගින් ලබාගත් ණය මුදල්, ණයකරුවන් විසින් පැහැර හැරීම නිසා, මේ වනවිට එම ණය මුදල් සඳහා ඇප වී ඇති ඇපකරුවන්ට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

රට වටේම විකුණන ඉඩම් ඒත් ගන්න කෙනෙක් නෑ….

සේසතම ඉවරයි…ගෙවුණු අවුරුදු තුනට කෝටි තිස්දාහක බඩු උකස්!

පවතින ආර්ථිකයේ තරම පෙන්වන්නට තවත් හේතු සාධක වන්නේ මෙරට ශීඝ්‍රයෙන් විකිණෙන ඉඩම් හා නිවාස ගොඩනැඟිලිය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට බොහෝමයක් පිරිස් මෙම රට අතහැර යෑමය. එසේ රටහැර යන බොහෝ පිරිසක් නැවත මෙම රටට යළි පැමිණීමට අපේක්‍ෂා නොකරන හෙයින් තමන් සතු ඉඩකඩම් බොහොමයක් විකිණීමට තබා ඇති බව පෙනී යන කාරණාව වේ. එහෙත් පවතින ආර්ථිකය හමුවේ මෙම ඉඩම් විකුණා ගැනීමට ඉඩම් හිමියන් ද අසමත්ය. තවද බැංකු මගින් ණය නොගෙවීම හේතුවෙන් අත්පත් කරගන්නා ලද ඉඩම් හා ගොඩනැඟිලි ඉතා විශාල ප්‍රමාණයක් මේ වනවිට පවතින බව ද ආරංචි මාර්ග පවසයි.

‘නෝ මනී’ වෛරසයෙන් වැසෙන ව්‍යාපාර

දිනෙන් දින පනවන නව බදු ක්‍රමය හේතුවෙන් මෙරට මහා පරිමාණ හා කුඩා ව්‍යාපාරවලට ද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි. මෙරට ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් දිනෙන් දින වැසීයන්නේ ද එහි ප්‍රතිඵල වශයෙනි. වැසීයන කර්මාන්තශාලා හේතුවෙන් මෙරට රැකියා ප්‍රශ්නයද තවත් උඩුදුවා ඇත. දිනෙන් දින වැඩි වන භාණ්ඩ මිල හේතුවෙන්ද මෙරට බොහෝ ව්‍යාපාරික ප්‍රජාව තම ව්‍යාපාර අත්හැර දැමීම

තෝරාගන්නේද ‘ණය ගෙවනවාට වඩා නිදහසේ සිටීම’ වටිනා බව ද කියමිනි. අප දිවයිනේ ප්‍රසිද්ධ නගර කිහිපයකම පවත්වාගෙන යන ව්‍යාපාර නිරීක්‍ෂණය කළ විට එහි හිමිකරුවන් අප වෙත පවසා සිටියේ ද ලැබෙන ආදායමෙන් බැංකු ණයවත් ගෙවීමට නොහැකි බවකි. තවද ඔවුන් පවසන්නේ තම සේවක ප්‍රමාණය ද හරි අඩකටත් වඩා අඩු කළ බවයි. දරාගත නොහැකි විදුලි බිල නිසා වැසීගිය ව්‍යාපාරද ඒ අතර අපට හමුවිය. ඒ බොහෝමයක් ව්‍යාපාර විදුලි බිල්පත් ගෙවීමටවත් ආදායමක් ඉපයීමට නොහැකිවීම හේතුකොට ගෙන වසා දැමූ ඒවාය. තවද ස්වයං රැකියාවල නියුතුවූවන්ගේ ද රැකියා විශාල ප්‍රමාණයක් මේ වනවිට අහිමි වී අවසන්ය. ඇතැම් ව්‍යාපාර ගොඩනැඟිලි මේ වනවිට බැංකුවලට උකස් කොට බේරා ගත නොහැකිව වෙන්දේසි වෙමින් පවතින බවද අපට දැනගත හැකිවිය.

උකස බේරා වැඩි මුදලක් අතට දෙන බොර දියේ මාළු බාන රන් ණය සේවා…

මේ වනවිට දිවයින පුරා නොයෙකුත් දැන්වීම් පුවරු මගින් හා කෙටි පණිවුඩ භාවිත කරමින් උකසට තබා ඇති රන් භාණ්ඩ බේරා දී වැඩි මුදලක් ලබාදෙන බව පවසමින් දැන්වීම් පළ කරන රාජ්‍ය නොවන පුද්ගලික මූල්‍ය ආයතන බොහොමයක් ඇත. මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් සිදුකළ පරීක්‍ෂණවලට අනුව පසුගිය කාලය තුළ බොහොමයක් රන් බඩු සින්නවීමට හේතු වී ඇත්තේද මේ ආකාරයෙන් විවිධ මූල්‍ය ආයතන හරහා සිදුකරන ලද ගනුදෙනු හේතු කොටගෙනය. මහාචාර්යවරයා පවසන පරිදි ගනුදෙනුකරුවන්, යම් ආයතනයක උකස් කරන ලද රන් බඩු, එම ආයතනවලට මුදල් ගෙවා බේරා දී නැවත අදාළ පුද්ගලයන්ට වැඩි මුදලක් ලබා දී තමන් සතු කර ගන්නේ ඔවුන්ට එම රන් ආභරණ නැවත බේරාගැනීමට නොහැකිවන පරිද්දෙනි. මෙම ආයතන මගින් සිදුකරනු ලබන්නේ ද ඉතා කූට මංකොල්ලයකි. එසේ නැත්නම් ඉතාමත් සූක්‍ෂ්මව සිදුකරන ලද පැහැර ගැනීමකි. උකස්කරුවන්ටත් වැඩේ නොතේරෙන අන්දමින් සිය කුප්‍රකට උපාය මාර්ග භාවිත කරමින් මෙම උකස් ආයතන උකස්කරුවා හසුකර ගැනීමට ඉතා සමත්ය. මෙහිදී ගනුදෙනුකරුවා මෙයට හසුවන්නේ කළ හැකි අන් දෙයක් නැති නිසාවෙනි. පසුගිය කාලය තුළ සිදුකළ සමීක්‍ෂණවලදී වැඩිමනත් එවැනි සිද්ධීන් වාර්තා වී ඇති බව අපට දැනගන්නට ලැබුණි.

තවද අප කළ සොයාබැලීමේදී එක්තරා පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් අංශයේ සේවයේ නියුතු නිලධාරියකු අප සමඟ කියාසිටියේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවත්වීම උදෙසා මේ වනවිට රටේ මිනිසුන් පුදුමාකාර කැපවීම් සිදුකරන බවකි. එහිදී ඔහු පවසා සිටි සිද්ධීන් අතුරින් ඉතාමත් සංවේදී පුවත් ද ඒ අතර විය. සැබැවින්ම රටේ තත්ත්වය එයයි. රටේ මිනිසුන් අද තමන් සතු දේපළ පවා බැංකුවලට උකස් කොට ඇත්තේ ජීවත්වීම පිණිසය. රජයේ බැංකු සේවකයකු ද අප හා පවසා සිටියේ මිනිසුන්ට දැන් බැංකුවේ උකස් තියන්න දෙයක් නැති තරම් බවය. මේ ආකාරයෙන් ජනතාව පත්වී ඇති ඛේදනීය ඉරණමට වගකිවයුත්තෝ රට කළ පාලකයෝමය. එහෙත් දැන් මෙරට ජනතාවට ඉදිරියේදී ජීවත්වීම වෙනුවෙන් උකසට තැබීමට ඉතිරිව ඇත්තේ ඇඳිවතම පමණකි.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment