ගාමිණී ෆොන්සේකාට රු. මි. 300 ක් වන්දි ගෙවීමේ තීන්දුව බලරහිත කෙරේ

9314

සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කළේය. මහජන බැංකුව විසින් ඉදිරිපත් කොට තිබූ අභියාචනාවක් විභාග කළ රත්නප්‍රිය ගුරුසිංහ හා සී. පී. කීර්තිසිංහ යන විනිසුරු මඩුල්ල එම නියෝග කළේය.

“ගාමිණී ෆොන්සේකාගෙන් ලක්ෂ 25 ක බැංකු පොල්ලක්” යන සිරස්තලය යටතේ රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් පලවී ඇති බවත් තමන් බැංකුවට පොලු තැබූ බවට රාවය පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ මහජන බැංකුව හෝ එම බැංකුවේ තිස්සමහාරාම ශාඛාවේ කළමනාකරු වන බැවින් සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ගාමිණී ෆොන්සේකා මහතා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ හම්බන්තොට දිසා අධිකරණය එම වන්දි මුදල ගෙවන ලෙසට මහජන බැංකුවට නියෝග කරමින් තීන්දුවක් ලබාදී තිබිණි.

තමා විසින් හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සැනසුම හොලිඩේ රිෂෝට් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය තිස්සමහාරාම ශාඛාවෙන් ණය මුදලක් ලබාගෙන තිබුණත් 1983 ජුලි අරගල සමයේ සිය ආයතනය විනාශ වීම නිසා බැංකුව හා තමා අතර ඇති කර ගත් එකඟතාවක් අනුව ණය මුදල පිළිබඳ ගැටලුව සමථයකට පත්කරගෙන තිබියදීත් පළවූ එම ප්‍රවෘත්තිය නිසා පැවැති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස ද කටයුතු කළ තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුවී ඇතැයි ද ගාමිණී ෆොන්සේකා මහතා සිය පැමිණිලි මගින් දිසා අධිකරණයට පෙන්වාදී තිබිණි.

රාවය පුවත්පත එම ප්‍රවෘත්තිය පළ කර ඇත්තේ ලංකා බැංකුවෙන් හෝ බැංකු කළමනාකාරවරයාගෙන් බවට ප්‍රමාණවත් සාකෂි ඉදිරිපත් වී නොතිබියදීත් එලෙස එම බැංකුවට වන්දි ගෙවන ලෙසට ලබාදී ඇති තීන්දුව සාධාරණ තීන්දුවක් නොවන බවත් පුවත්පතකට වෙනත් මාර්ග ඔස්සේ ප්‍රවෘත්ති ලබාගැනීමේ හැකියාව පවතින බවත් අභියාචනාධිකරණය එම තීන්දුව මගින් පෙන්වාදී තිබිණි.

මහජන බැංකුව වෙනුවෙන් නීතිඥ චමත් ප්‍රනාන්දු, නීතිඥ මිලින්ද මුණිදාස යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පෙනී සිටි අතර නීතිඥ මෙරාන් කරිම්, විස්වාන් ඉක්බාල් සමග ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා මහතා ගාමිණී ෆොන්සේකා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment