නිදහස ගැන කතා කරන කොට අපි කවුරුත් උදාහරණයට ගන්නේ කුරුල්ලන්! කුරුල්ලෙක් වගේ නිදහසේ සීමා මායිම් නොතකා කඳුවැටි, සාගර, ගංගා, තැනි-නිම්නවලට ඉහළින් පියාඹන්න අපි සිහින දකිනවා. අපේ පැරණි සංදේශ කාව්‍යවල විවිධ කුරුලු වෙසින් අපි අපේ සිතුවිලි, අපේක්ෂාවන් ආකාශයට මුදාහැර තිබෙනවා.

ඇත්තටම අපි කල්පනා කරනවා වගේ කුරුල්ලන්ට මිනිස්සුන්ට තිබෙන සීමා අතික්‍රමණය කරමින් නිදහසේ ලෝකය පුරා සැරිසරිය හැකි ද? කුරුලු ඇසින් ලෝකය දැකිය හැකි ද? ඔව් පුළුවන්! සෑම කුරුල්ලෙකුටම අදාළ නොවුණත් ඒ කතාව ඇත්ත. නමුත් එක් කොන්දේසියක් මත ඒ තමයි. මිනිස් ක්‍රියාකාරකම් මේ සංචාරයන්ට බාධා නොකරන තාක් එය යථාර්ථයක් වන බව.

සංචාරක කුරුල්ලන් (Migrant birds) ලෙස අප හඳුන්වන කුරුල්ලන් විශේෂ මේ විදිහට දේශගුණයේ ඍතුගත වෙනස්වීම් සමග නව ගොදුරු බිම්, ප්‍රජනන අවශ්‍යතා ආදිය සම්පූර්ණ කර ගැනීමට සැතපුම් දහස් ගණනක් අප දන්නා රටවල්, මහද්වීප සහ සාගර හරහා සංචාරය කරනවා. ඒ සඳහා නිශ්චිත කාලයන්, ගමන් මාර්ග, ලැගුම් ගන්නා ප්‍රදේශ ආදියත් තිබෙනවා. ඒ වගේම මේ කුරුල්ලන්ට එවැනි දීර්ඝ සැරීම් සඳහා යෝග්‍ය ලෙස ඔවුන්ගේ ශරීර සහ චර්යාවන් ද විකසනය වී තිබෙනවා.

සංචාරක කුරුල්ලන් කියන්නේ ඕනෑම රටක ලස්සනම තැන් තවත් හැඩ කරන සංචාරක තානාපතිවරුන්. ඔබ හිතන්න, අපේ රටේ මේ සංචාරක කුරුල්ලන් රට තුළට පැමිණෙන ගමන් මාර්ග, ඔවුන් ආහාර සොයාගන්නා ස්ථාන ආදිය වෙනත් භූමි පරිහරණ රටාවන්ට යොමු කළහොත් මේ සමස්ත කුරුලු සංචරණ ක්‍රියාවලියම බිඳවැටෙනවා. මේ කුරුලු විශේෂ මිහිමතින් වඳ වෙලා යන්න ඒක ප්‍රධාන හේතුවක්. ඒ වගේම මේ පක්ෂීන්ගේ පැමිණීම නිසා ගමනාන්ත ප්‍රදේශවල තිබෙන පරිසර පද්ධති සහ ඒවායේ ක්‍රියාකාරීත්වයටත් ඉන් බලපෑම් ඇති කරනවා. කුරුල්ලන් නැරඹීම ලොව පුරා ජනප්‍රිය සංචාරක ප්‍රවර්ගයක්! සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ගැන වැඩි අපේක්ෂාවන් තබාගෙන සිටින අපි වගේ රටවල් සංචාරක පක්ෂීන් ආරක්ෂා කර ගනිමින් ඒ සම්පත් තිරසරව උපයෝජනය කිරීමේ සැලසුම් ගැන කල්පනා කළ යුතුයි. රත්තරන් බිජු දාන කිකිළිය මරා කෑම වෙනුවට ඒ බිත්තරවලින් නව පරම්පරාවක් ද ඇතිකොට උපයෝජනය කිරීමයි කළ යුත්තේ.

මම ඔබට උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ රාජස්ථානයේ භාරත්පූර් (Bharatpur) නගරය ආසන්නයේ තිබෙන කේවලදේවි ජාතික උද්‍යානය (Keoladeo National Park) සංචාරක කුරුලු විශේෂ තුන්සියයකට වැඩි ප්‍රමාණයකට නවාතැන් පොළක්! මේ වැදගත්කම නිසාම මෙය ස්වභාවික ලෝක උරුමයක් ලෙසද යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ නිසාම මේ උද්‍යානය දේශිය-විදේශීය පරිසර හිතකාමී සංචාරකයන්ගේ ප්‍රධාන ගමනාන්තයක් ද වුණා.

මොංගෝලියානු සහ සයිබීරියානු කලාපයේ ජීවත්වන වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින සයිබීරියානු ක්රේන් (Siberian crane) නම් සංචාරක පක්ෂි විශේෂය මීට වසර ගණනාවකට පෙර මේ තෙත්බිම් ජාතික උද්‍යානයේ දක්නට ලැබුණා. නමුත් අද වන විට මේ කුරුල්ලන් මෙහි එන්නේ නෑ. අවසානයට ඔවුන් මෙහි පැමිණ තිබෙන්නේ මීට වසර හයකට පමණ පෙර යි. මේ දුර්ලභ කුරුල්ලන් නැවත මේ උද්‍යානයට හඳුන්වා දෙන්න ගත් උත්සාහයන් කිහිපයක් ද මේ වන විට අසාර්ථක වීම තිබෙනවා. මෙනිසා උද්‍යානයේ වටිනාකමත් අඩුවෙලා. මේ කුරුල්ලන් මෙහි නොපැමිණෙන්නට බලපා තිබෙන්නේ උද්‍යානයට කලකදී එල්ල වූ දැඩි මානව බලපෑම්. දැන් ඒ බලපෑම් පාලනය කර ඇති නමුත්, නැති වූ අභිමානය නැවත කැඳවන්නට විද්‍යාව හෝ තාක්ෂණය ද මේ වන තෙක් සමත් වී නැහැ. කලකට ඉහත දී සියක්කාරයින්ගේ (Flamingos) රජ දහනක් වූ බූන්දල ජාතික උද්‍යානයට මේ වන විට අත්ව ඇති ඉරණම ද මීට සමානයි. මිනිසුන් වන අප දේවල් විනාශ කරන පමණින් සහ වේගයෙන් ඒවා නැවතත් සකස් නොවන බව මෙවැනි සිද්ධි අපට නැවත මතක් කර දෙනවා.

අප මේ ගැන කිව්වේ මන්නාරමේ ඉදිකිරීමට යෝජනා කර ඇති විදුලි බලාගාර ව්‍යාපෘති සහ එහි බලපෑම් පිළිබඳව මේ වන විට සාකච්ඡාවක් ඇති වී තිබෙන නිසා. පරිසරවේදීන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මන්නාරම් ප්‍රදේශය කුරුලු විශේෂ 150 කට පමණ අයත් පක්ෂීන් මිලියනයකට පමණ තීරණාත්මක ශීත ඍතු භූමියක් ලෙස ක්‍රියා කරන බවයි. එමෙන්ම තර්ජනයට ලක් වූ කුරුලු විශේෂ 26 ක් සඳහා අභිජනන වාසස්ථාන මේ ප්‍රදේශය පහසුකම් සපයන බව ද ඔවුන් කියනවා. මධ්‍යම ආසියානු කුරුලු පියාසර මාර්ගයේ දකුණු දෙසින් පිහිටි අවසන් ගමනාන්තය වන ශ්‍රී ලංකාව වාර්ෂිකව සංක්‍රමණික පක්ෂීන් විශේෂ 250 කට අයත් මිලියන 15ක් පමණ වන පක්ෂීන් සඳහා වැදගත් ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාකරන බවත් එය ගෝලීය පක්ෂි සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් ගමනාන්තයක් බවත් ඔවුන් අවධාරණය කරනවා. එසේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් කරන ලද පර්යේෂණ මගින් ද මන්නාරම සංක්‍රමණික පක්ෂීන් සඳහා තීරණාත්මක ප්‍රවේශ මාර්ගයක් ලෙස හඳුනාගෙන තිබෙන බවට ඔවුන් සාක්ෂි ඉදිරිපත් කරනවා.

කොහොම වුණත්, අපි සෑම දෙයකදීම මස් රාත්තලම ඉල්ලා සිටීම යෝග්‍ය වන්නේ නෑ. එක් අවස්ථාවක් ගිලිහෙන විට තවත් විකල්ප මාවත් ගණනාවක් මතු විය හැකියි. නැතිනම් එවැනි විකල්ප ප්‍රවේශ ගණනාවක් නිර්මාණය කරගත යුතුයි. දෙපසට බෙදී වාද කිරීම යම් අවස්ථාවක් වනතෙක් වැදගත් වන නමුත් එහි අවසන යම් නම්‍යශීලී මාවතකට එළඹිය යුතු වෙනවා. පරිසරය රැකගෙන හෝ පරිසරයට අවම හානියක් වන පරිදි අප සංවර්ධන ඉලක්ක ද සපුරා ගත යුතුයි.

අපගේ පෞද්ගලික යෝජනාව නම් මන්නාරම් දූපත් සමූහය සහ ඒ ආසන්නයේ විසිරී ඇති ආරක්ෂිත ප්‍රදේශ එකිනෙක යා කරමින් විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව මේ කලාපය මිශ්‍ර ලෝක උරුම භූ දර්ශනයක් ලෙස යෝජනා කරන ලෙසයි. එවැනි ක්‍රියාවලියකදී ඔබට ඉන්දීය ව්‍යාපාරිකයන් වෙනුවට ඉන්දියානු විද්‍යාඥයන්ගේ සහාය ද ලබාගත හැකියි. ඒ අනුව එය දේශසීමා අතික්‍රමණය කරන ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ විභවතාවයක් ද තිබෙනවා. එවැනි පසුබිමකදී අප අපේක්ෂා කරන ආර්ථික සහ සාමාජීය සංවර්ධනය ද මේ මාර්ගය හරහාම උදාකරගත හැකිවනු ඇත.

අප කුරුල්ලෙකු සේ පියාඹන්නට සිතනවා නම්, අප මුලින්ම කළ යුත්තේ කුරුල්ලෙකු ලෝකය දකින ආකාරය සිතෙහි මවා ගැනීමයි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය,
රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment