පහතරට මඩු ශාන්තිකර්මයේ පුදපෙත් ලබන දළකුමාර දෙවියෝ

40

වස්දොස් දුරුකර ගැනීමේ සහ සෙත්ශාන්තිය ළඟාකර ගැනීමේ අපේක්‍ෂාවෙන් මෙන්ම භවභෝග සශ්‍රීකත්වය සඳහා දෙවියන් උදෙසා පුදපූජා පවත්වති. ඇතැම් ලෙඩ රෝග බෝවන්නේ ද දේවගනයා නිසා යැයි ද බැතිමතුන්ගේ විශ්වාසයේ පවතී. මෙම විශ්වාසයන් හමුවේ දෙවියන් සතුටු කොට දෙවියන් සඳහා පුදපෙත් පැවැත්වීමට බැතිමත්හු පෙලඹෙති. දේව පිහිට පතා කරනු ලබන මෙම ශාන්තිකර්ම මඩු ශාන්තිකර්ම හැටියට සැලකේ.

විශේෂයෙන් පහතරට ප්‍රදේශවල කෙරෙන මෙම මඩු ශාන්තිකර්ම අතර දෙවොල් මඩු, ගිණිමඩු, ගම්මඩු, හැල්ලුම් මඩු, පූනාමඩු, කිරිමඩු, තුන්දා මඩු, හත්දා මඩු අතර ගරාමඩුව ද ප්‍රධාන තැන්හි ලා ගැනේ.
දළකුමාර දෙවියන් ගරායකු ලෙස ද සැලකේ. දඹදිව දන්ත පුරයේ විසූ සිංහ රජුගේ සහ හංසවතී දේවියගේ වැඩිමල් පුතු දළකුමරු ලෙසින් හැඳින්වේ. දළකුමරුගේ නැඟණිය ගිරි කුමරියයි. ඉතා රූමත් කුමරියක් වූ ගිරිකුමරිය ඇගේ සොහොයුරා වන දළකුමරුගෙන් කෙලෙසෙන බව නෛමිතිකයන් පවසයි. මේ සම්බන්ධව සංවේගයටත් කම්පාවටත් පත්වන සිංහ රජු සහ හංසවතී දේවිය තම දියණිය දළ කුමරුගෙන් බේරා ගැනීම සඳහා මහ වන ලැහැබක වූ ගිරි ලෙනක සඟවා ඇතිදැඩි කරයි.

කසුන් මල් සුවඳ පෙති අතුළ දුල යහනතේ
සුසුන්ලා තුන්යමට නොයානිදි අද නෙතේ
සතුන්හට නොපෙනෙමින් තියෙද නුඹ වනපෙතේ
ඉතින් මගෙ දිවි රැගෙන බැරි ඉන්ට ගිරිකතේ

සිංහ රජුත් හංසවතී දේවියත් තම වැඩිමල් පුතු වන දළකුමරාගෙන් සිය දියණිය ගලවා ගැනීම සඳහා ගිරිලෙන තුළ සඟවා සිටියදී දළකුමරා ඇය ගැන සොය සොයා අවසානයේ බොරු ලෙඩක් පෙන්වා ඇය තමා සමීපයට ගෙන්වා ඇය පොලඹවා ගනිමින් සංවාසයෙහි යෙදේ.

රන්දම් සේ අත් දෙක අල්ලා ගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දා ගෙන
මන් දැන් විඳි දුක් නුඹම සිතා ගෙන
රන්තලි මදයුද හැසුරුණ කැන් දන

දළකුමරුගේ මෙම හැසිරීමේ ප්‍රතිඵලය වන්නේ ගිරිකුමරිය මහත් කම්පාවට පත්ව අවසානයේ ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමයි. දළකුමරුන් නොයෙක් ඇවිටිලි බස් කීවත් ඉන් සෑහීමකට පත් නොවුන ගිරිකුමරිය තමාට අවස්ථාව එනතෙක් බලාසිට ගෙල වැලලාගෙන මියයයි. දළකුමරුට හොරෙන් මියයන ගිරි කුමරියගේ සිරුර සක්දෙවිඳුන් විසින් ගෙනගොස් සඟවා තබයි. ඇය මියගිය පුවත දැනගත් දළකුමරා ඇය සොය සොයා ඇවිදියි.

පතර මෙසක්වල වට විමසා පි
හතර එදිවයින ඇවිද බලා පි
විතර මහත් කඳු හෙල් පෙරලා පි
නිතර ගජන් බිම ගසා මරා පි

ගිරිදේවී කවි පොතෙහි සඳහන් මෙම කවියෙන් සියදිවි නසාගත් ගිරිදේවියගේ දේහය සොයා දළකුමරුන් ඉතා බිහිසුණු ලෙස හැසුරුණු ආකාරය විස්තර වේ. දළඇතුන් බිම ගසා මරමින් යනුවෙන් මෙහි සදහන් වීමෙන් දළකුමරුගේ

සැරපරුෂ බව මැනවින් පැහැදිලි වේ. තම නැඟණියගේ දේහය සොයා මහත් වෙහෙසට පත්වන දළකුමරුට අසානයේ සක්‍රදේවේන්ද්‍රයා විසින් ගිරිකුමරියගේ දේහය පෙන්වයි.

ඔසරිපොටෙන් ඇය ගත පිරි මැද ලා
තිසරු ලෙසින් පියයුරු දෙක දැක ලා
වියරුවකින් වත සිඹ සනසා ලා
කියති ඉතින් දෙන් පණ පිහිටා ලා

ගිරිදේවියගේ දේහය අසල වැතුරුණ දළකුමරු, ඇගේ දේහය පිරිමැද ඇයට ප්‍රාණය ලබාදෙන ලෙසට කන්නලව් කරද්දී සක්දෙවිඳුන් ඇයට ප්‍රාණය පිහිටුවා ඇය සක්‍රභවනට ගෙනගිය බව ගිරිඋපතෙහි කියැවේ. දළකුමරුන් තමාට වූ මෙම සිදුවීමෙන් මහත් ශෝකයටත් වෛරයටත් පත්ව මියගිය බව ද, එසේ මියයන දළකුමරා යක්‍ෂයකුව උප්පත්තිය ලබන බව ද පැවසේ.

0239

එදා සිය වෛර බැඳපු අකුස්සා
සොඳා එවිගපැන ගතිය විලස්සා
විදා එහද රළු වෙමින් අකුස්සා
එදා මැවිණි දෙවි එදළ රකුස්සා

මෙසේ මියයන දළකුමරු දේවතාවකු ලෙසින් ද යක්‍ෂයකු ලෙසින් ද හඳුන්වනු ලබයි. දළකුමරා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගරායකා යනුවෙනි.

දළකුමාර දෙවියෝ හෙවත් ගරායකා වස්දොස් දුරැලීමේ හැකියාව ලැබුවේ ඔහු අතින් සිදුවූ අවසානම දෝශය වන එක්කුස උපන් සොයුරිය කෙලෙසීම සිදුවූ හෙයින් යැයි මහාචාර්ය ඔබේසේකර මහතා අර්ථකථනය කර ඇති බව සිංහල දේවපුරාණයේ සඳහන් වේ.

පහතරට මඩු ශාන්තිකර්මයේ දී බැතිමතුන්ගේ වස්දොස් දුරැලීම සඳහා ගම්මඩුව අවසානයේ කරනු ලබන ශාන්තිකර්මය ලෙස ගරායක් නැටුම හැඳින්වේ. දළකුමරුගේ නැඟණිය වූ ගිරිදේවියට ගිරිලියෝ දොළස යනුවෙන් දොළොස් අවතාරයක් ඇතිවා මෙන්ම දළකුමාර දෙවියන්ට ද දොළොස් අවතාරයක් වෙයි. අටින්ගරා, සොහොන්ගරා, දේසගරා, සඳුන්ගරා, පූෂ්පගරා, කණගරා, උමාගරා, ලවුනාගරා, වාතගරා, තොටයගරා, නීලගරා, සහ කීලගරා යනුවෙනි. ගරායකුට සෑමදේම ගිල දැමීමේ හැකියාවක් පවතින බව ද, එනිසාම ගරායක් දෙවියන්ට වස්දොස් දුරැලීමට සුවිශේෂී හැකියාවක් ඇති බව ද පැවසේ. විශේෂයෙන් රජරටවාසීන් නියං කාල වලදී වර්ෂාව ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් ගරායකුන් පුදනු ලබයි. මෙහිදී සුවිශේෂී කරුණක් වන්නේ දළකුමරුන් සහ ගිරිදේවියගේ නග්න රූප අඹා මහරෑ යාමේ වැව්කණ්ඩිය මත තබා යාතුකර්ම කිරීමයි.

මෙහිදී ගරායක් ශාන්තිකර්මයේ එන කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙන යක්දෙස්සෝ එම නග්න රූප එහි තබා නිවෙස් කරා යති. මෙම නග්න රූප වැව්කණ්ඩියේ තබා යෑමෙන් එය දෙවිවරුන් තමන්ට කළ අවමානයක් ලෙස සලකා වැසි වසින්ට සලස්වන බව ද, එයින් එම බලි රූප සේදී යන බවට ද ජන විශ්වාසයක් පවතී.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කර ඇති නර්තන චින්තා නමැති ග්‍රන්ථයේ ”සිංහල නර්තනයේ ඇතුළත් සන්නිවේදන ලක්‍ෂණ” මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාෂ්ත්‍රපති ජයසේන කෝට්ටගොඩ මහතා ලියා ඇති ලිපියෙහි ගරායකා සහ ගිරිදේවිය මෙසේ අර්ථකථනය කර ඇත. ” එකම පවුලේ සොයුරු සොයුරියන් දෙදෙනකු වන ගරායකා සහ ගිරිදේවිය, දළකුමරු සහ ගිරිදේවිය අතර ඇතිවූ ලිංගික සබඳතාව හේතුකොටගෙන දළකුමරු ගරායකු වුණ බවත් ගිරිළඳ ගිරිදේවිය වුණ බවත් එවන් අනිසි ලිංගික සබඳතාවක ප්‍රතිඵලය යකුන් ලෙස හුවාදක්වන ලද්දේ ද හෙළ සමාජයේ පවත්නා ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවල යෙදීම වළක්වා සමාජයට ආදර්ශයක් ගෙනදීමේ අදහසින් බවත් අර්ථකථනය කර ඇත.

පහතරට මඩු ශාන්තිකර්මයේ පුදපෙත් ලබන දළකුමාර දෙවියෝ

දහම්පාසල් ආචාර්ය ’ කලාභූෂණ’
විශ්වාභිනන්දන’ සියනෑ ගෞරවකීර්ති
සරණපාල නුවරපක්‍ෂ
පූගොඩ. 0718985424

advertistmentadvertistment
advertistmentadvertistment