ඔබට සහ රටට තීරණාත්මක වසරක්

10446

වසර නිමවීමට ඇත්තේ තවත් දින කිහිපයකි. මහජනතාව විවිධ දුෂ්කරතා හා ආර්ථික ගැටලු වලින් පීඩාවට පත් කාලයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉහළ යන බඩු මිල, ලයිට් බිල, ඖෂධ මිල අහස උසට නැග තිබියදී ගතවන්නේ වර්ෂාව, ගංවතුර හා නායයෑම් වැනි ස්වභාවික විපත්වලින් ද අඩු නැති කාලයකි. උදාවන වසරේවත් මේ ගැටලුවලට සහනයක් ලැබේද යන බලාපොරොත්තුව පිරි දෑසින් යුතුව සැවොම බලා සිටිති.

ජ්‍යොතිර් විද්‍යාත්මක පදනමකින් යුතුව මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. 2024 යනු ග්‍රහ යුද්ධ දහඅටක් ද, චන්ද්‍රග්‍රහණ දෙකක් ද සූර්යග්‍රහණ දෙකක් ද සිදුවන වසරකි. ග්‍රහමාරු ද රාශියක් සිදුවන නමුදු සෙනසුරු, රාහු හා කේතු යන ග්‍රහයන් මාරුවන්නේ නැත.

ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ ගෝචර ග්‍රහචාරය ද සංවත්සර කේන්ද්‍රය ද මෙම විමර්ශනය සඳහා පදනම් කරගත යුතු වේ. මේ අනුව කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ ලග්නයේ ශනි ද දෙවැන්නේ රාහු ද තුන්වැන්නේ ගුරු ද, හතේ සඳු ද, අටේ කේතු ද දහයේ බුධ හා සිකුරු ද, දොළහේ රවි සහ කුජ ද ගමන් කරයි. ගුරු ග්‍රහයා මැයි පළමුවැනිදා වෘෂභ රාශිගත වීම විශේෂ සිදුවීමකි.

වසර පුරාම ශනි ලග්නයේ ගමන් කරමින් ඒරාෂ්ටක අපල තත්ත්වය නිවේදනය කරයි. රාජ්‍ය කාරක රවි හා කුජ එකොළහේ සිටිමින් පවතින රජයේ බලය පෙන්වන නමුදු විපක්‍ෂය නිවේදනය කරන සිව්වැන්නාධිපති, සිකුරු දහයේ බලවත්වීම විපක්‍ෂයේ බලය ද තුලනය කරන බව පෙනේ. වසරේ මුල් මාස තුනේ පවතින මේ තත්ත්වය අප්‍රේල් වලින් පසුව වෙනත් අතකට පෙරළෙන බව පෙන්වයි.

ධනස්ථානගත රාහු විසින් වසර මුල සිටම රාජ්‍ය වියදම් ඉහළ නගින බව පෙන්වයි. මේ වියදම් පාලනය කිරීම අසීරු වෙයි. නමුත් විදේශ රටවලින් ලැබෙන සහයෝගය නිසා ආයෝජන අවස්ථා රාශියක් ලැබීමට ද ඉඩ තිබේ. නව කර්මාන්ත ආරම්භවීමට කරුණු යෙදේ. මේ හැර අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ද විදේශ ආයෝජන වැඩිවිය හැකි අතර පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි ආයතන පුළුල් වීමට ඉඩ තිබේ.

මේ තත්ත්වය මත රටේ විශ්වවිද්‍යාල පද්ධතිය හා උසස් අධ්‍යාපන ආයතන තුළ නොසන්සුන් බවක් ඇතිවීමට ඉඩ තිබේ. අප්‍රේල් සිට විශේෂයි. නමුත් ජාත්‍යන්තර පාසල් නඟාසිටුවීමක් දක්නට ලැබෙනවා ඇත. මේ අතර පාසල් පද්ධතිය තුළ ද නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකිය.

ශිෂ්‍යයන්ගේ හා දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට තර්ජනයන් වියහැකි ආකාරයට වසංගත රෝග තත්ත්වයන් ද ඇතිවිය හැකිය. මේ අතර කාන්තා පක්‍ෂයේ යහපතට ද ක්‍රියාකෙරෙනු ඇත. නමුත් බාල අපචාර පිළිබඳව නිතර අසන්නට ලැබෙනවා ඇත. දරු දැරියන්ට පීඩා ගෙනදෙයි.

අප්‍රේල් වල සිට කාලගුණය ද අයහපත් තත්ත්වයකට හැරෙන බව පෙනේ. සංවත්සර කේන්ද්‍රයේ සිව්වැන්න පාප පීඩිත වීම නිසා වායුගෝලය විෂම වේ. වියළි කාලගුණයක් ද ඇතිවේ. කෘෂිකර්මාන්තයට ද යහපත් බවක් නොපෙනේ. කාලගුණික විපත් නිසා ගොවිතැනට බාධා එල්ල වෙයි.

ආගමික අංශය පිළිබඳව ද එතරම්ම සතුටුදායක තත්ත්වයක් නොපෙනේ. පූජ්‍ය පක්‍ෂයට අපලයි. පූජ්‍ය පක්‍ෂය අතරින් ද ආධ්‍යාත්මික ඉලක්ක අතහැර පටු දේශපාලන අරමුණු කරා නැතහොත් මුදල් පසුපස හඹායන පැවිද්දන් තවදුරටත් බිහිවේ. ත්‍රිපිටක ධර්මය විකෘති කිරීම, අභිධර්මය විවේචනය කිරීම, බුදුන් වහන්සේ වැනි උතුමන් ද සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් හා සසඳමින් මෝඩ දේශනා කිරීම හා එමගින් වාසි ලබාගැනීම සිදුවේ. විවිධ පුදපූජා, පෙරහැර, ප්‍රචලිත වෙයි. සැබෑ ශ්‍රද්ධාවන්ත හා ප්‍රඥාවන්ත බව ජනතාව අතරින් ගිලිහෙන බව පෙනෙනවා ඇත. රටට හා ජාතියට විරුද්ධ විජාතික විදේශ බලවේග ශක්තිමත් වෙයි.

දේව බලය ද, විශ්ව ශක්තිය ද නොලැබෙන තත්ත්වයට පත්වෙයි. භූත බලවේග ක්‍රියාත්මක වෙයි. දරු උපත්වලට බාධා ඇතිවේ. දරු උපත් පහළ යෑමට ඉඩ තිබේ. කලාකරුවන්ට සුබපලදායක කාලයක් අප්‍රේල් මස අග උදාවන අතර අගෝස්තු, සැප්තැම්බර් ආසන්නයේ කලාකරුවන්ට අපලයි. ප්‍රසිද්ධ කලාකරුවකු හෝ කලාකාරිනියක අභාවප්‍රාප්තවීම සිදුවේ. උපන් ලග්න අනුව උදාවන වසර මෙසේය.

මේෂ

බලාපොරොත්තු ඉටුවන වර්ෂයක් බව පෙනේ. මැයි සිට පෙරට වඩා යහපත් තත්ත්වයක් උදාවේ. පවුලේ දියුණුව ඇතිවේ. බාධා ඉවත් වේ. ප්‍රමාද වූ විවාහ මංගල කටයුතු කළ හැකිවේ. දරුලාභ පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉටුවේ. මාර්තු මුල හා මැයි අග නව ව්‍යාපාර ආරම්භයට සුබ වේ. ජුනි, ජූලිවල අධ්‍යාපන කටයුතු ආරම්භයට සුබ නැකත් උදා වේ. ගැස්ට්‍රයිටීස්, පෝෂණ ඌනතා වැනි රෝගවලින් ප්‍රවේශම් වෙන්න.

සුබ අංක – 1, 2, 3, 5 , සුබ පාට – රතු, කහ, සුදු
සුබ දින – ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

වෘෂභ

රවි, කුජ අටවැන්නේ ගමන් කරන වසරේ මුල් මාසයේ පමණක් බාධා පවතී. මාර්තු සිට මේ තත්ත්වය සුබ අතට හැරේ. මැයි සිට දරුලාභ, විවාහලාභ ඇතිවේ. මංගල යෝග යෙදේ. ඌෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. ආලෝක පූජාව, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, ලේ දන්දීම සුදුසු ශාන්තිකර්ම වේ.

සුබ අංක – 4, 6 ,සුබ පාට – කොළ, විචිත්‍ර වර්ණ
සුබ දින – බදාදා, සිකුරාදා

මිථුන

තවදුරටත් ගුරු එකොළහේ ගමන් කරන නිසා මැයි දක්වා සුබදායක වේ. මිතුරන් සමග සතුටින් කාලය ගතවේ. ආදායම් ඉහළ යයි. සහෝදරයන්ට සුබයි. විදේශ ගමන් සාර්ථක කරගත හැකිවේ. අකුරු කියවීමට හා අධ්‍යාපන පාඨමාලා ආරම්භයට මැයි වලට පෙර හෝ සැප්තැම්බර් අග සුබ නැකත් උදාවේ. කොලෙස්ටරෝල්, මේදය, දියවැඩියාව වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.

සුබ අංක – 2, 4, 6 , සුබ පාට – සුදු, කොළ, විචිත්‍ර වර්ණ
සුබ දින – සඳුදා, බදාදා, සිකුරාදා

කටක

ශනි අටවැන්නේ ද ගුරු දහයේ ද ගමන් කරමින් උදාවන වසරේ මුල් කාලය තරමක බාධා පවතී. අප්‍රේල් සිට මේ තත්ත්වය සුබ අතට හැරේ.

රැකියා හෝ ව්‍යාපාර දියුණුවට කටයුතු සිදුවේ. විවාහ ඉටුවේ. දරුලාභ ලැබේ. සේවක පාලනය, දේශපාලනය වැනි දේ ප්‍රවේශමින් කළ යුතුය. දන්දීම, මෛත්‍රී භාවනාව කිරීම සුබපල දේ. සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න. ශනිට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න.

සුබ අංකය – 1, 3, 5 , සුබ පාට – සුදු, රෝස, කහ
සුබ දින – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සිංහ

උදාවන වසර සුබදායකයි. නමුත් රාහු දශා ගතකරන අය රැවටිලි වලින් ප්‍රවේශම් වන්න. විදේශ ගමන් සාර්ථක වේ. දුර පළාත් වලින් ලාභ ලැබේ. අප්‍රේල් සිට රැකියා බාධා ඉවත් වේ.

රැකියා නැති අයට රැකියා ලැබේ. වාසනාව උදාවේ. ආගම දහමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. ගැස්ට්‍රයිටීස්, මානසික ආතතිය වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න. ඖෂධ පූජාව, චන්ද පිරිත හෝ සූරිය පිරිත භාවිතා කිරීම මැනවි.

සුබ අංක – 1, 3, , සුබ පාට – රතු, රෝස
සුබ දින – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා

ගුරු අටවැන්නේ ගමන් කරන අප්‍රේල් අග දක්වා තරමක බාධා පවතී. අවිවේකී කාලයකි. වියදම් ද ඉහළ යෑමට ඉඩ තිබේ. මැයි උදාවත් සමඟ මේ තත්ත්වය සුබ අතට හැරේ. පෙර පින, වාසනාව උදාවේ. දෙවි පිහිට ලැබේ. නිසි වයස ලැබූ දරුවන්ට අකුරු කියැවීමට හෝ අධ්‍යාපන පාඨමාලා ආරම්භයට මැයි සිට සුබ නැකැත් උදාවේ. දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.

සුබ අංක – 2, 4, 6 සුබ පාට – සුදු, කොළ, මිශ්‍ර ළා
සුබ දින – සඳුදා, බදාදා, සිකුරාදා

තුලා

ගුරු බලවත්ව ගමන් කරන මැයි මාසය දක්වා විශේෂ සුබ කටයුතු ආරම්භ කරන්න. ආර්ථිකය සතුටුදායකයි. අවිවාහක අයගේ මංගල කටයුතු සිදුවේ. අඹු-සැමි සමගිය ඇතිවේ. පවුලේ දියුණුවට කරන දේ සාර්ථක වේ. මැයි සිට තරමක බාධා පවතී. සෞඛ්‍ය රැකගත යුතුවේ. බෙහෙත් හෝ සිවුරු පූජාව, ගුරුවරුන්ට දන්දීම, බෝධිපූජා හා සුදුසු යන්ත්‍ර පැලඳීම අපල දුරු කරයි.

සුබ අංක – 2, 3, 5 , සුබ පාට – සුදු, රෝස, කහ
සුබ දින – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

වෘශ්චික

වසරේ මුල් මාස කිහිපය අවිවේකී වේ. පවුලේ දියුණුවට බාධා ඇතිවීමට කරුණු යෙදේ. වැඩිහිටියකුට අපලයි. මානසික ආතතිය, උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග වැනි අසනීප වලින් ප්‍රවේශම් වන්න. මැයි සිට මංගල යෝග යෙදේ. විවාහ සහකරුට සුබයි. ව්‍යාපාර වලින් ජය ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අසනීප සුව අතට හැරෙනවා ඇත. චන්ද පිරිත භාවිතය, මෛත්‍රී භාවනාව සුබදායක වේ.

සුබ අංක – 1, 5 , සුබ පාට – කහ, තැඹිලි, රතු
සුබ දින – ඉරිදා, බ්‍රහස්පතින්දා, සඳුදා

ධනු

ඔබට සුබ කටයුතු සඳහා වසරේ මුල් කාලය වඩාත් සුබදායක වේ. ගුරු පස්වැන්නේ ගමන් කරන නිසා දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ඉගෙනීම සතුටුදායක වේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. විදේශ ගමන් යෑමට තිබූ අපේක්‍ෂාවන් ඉටුවේ. විශේෂ සුබ කටයුතු අප්‍රේල් දක්වා සිදුකිරීමට සුබ නැකත් යෙදේ. මැයි සිට අවිවේකී බව පෙන්වයි. අභයදානය, ඖෂධ පූජාව, සුබදායකයි.

සුබ අංක – 1, 5 , සුබ පාට – තැඹිලි, රතු, කහ
සුබ දින – බ්‍රහස්පතින්දා, ඉරිදා

මකර

මුල් මාස දෙක උසස් අය සමග ප්‍රවේශමින් කටයුතු කළ යුතුය. නීතිමය ගැටලු වලට මැදිහත් නොවන්න. මැයි සිට ගුරු පස්වැන්නේ ගමන් කිරීම සුබපල උදාකරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. දරු ලාභ ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ව්‍යාපාර ආරම්භය හෝ නිවාස කටයුතු වලට මැයි සිට සුබ නැකැත් උදාවේ. ශනි දශා ගතකරන අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

සුබ අංක – 2, 4, 7 , සුබ පාට – සුදු, කොළ, නිල්
සුබ දින – සඳුදා, බදාදා, සෙනසුරාදා

කුම්භ

වසර පුරාම ලග්නගත ශනි හා දෙවැන්නේ රාහු ගමන් කරයි. මේ නිසා වියදම් ඉහළ යන බව පෙනේ. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. නමුත් රැකියා කටයුතු සතුටින් කළ හැකිවේ. සෙම් රෝග, වාතාබාධ හා පෝෂණ ඌනතා ගැන ප්‍රවේශම් විය යුතුවේ. මහළු අයට හා රෝගීන්ට දන්දීම, ඖෂධ පූජාව කරණීයමෙත්ත සූත්‍රය භාවිතා කිරීම සුබදායකයි.
සුබ අංක – 5, 6 සුබ පාට – මිශ්‍ර ළා, කහ
සුබ දින – බ්‍රහස්පතින්දා, සිකුරාදා

මීන

ගුරු ධනස්ථානගතව හා රවි කුජ දහයේ ගමන් කරමින් උදාවන වසර සුබදායකයි. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. නායකත්ව ගතිගුණ ඇතිවේ. විවාහ යෝග යෙදේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. රාහු දශා නම් හිතේ චංචල බව, නිෂ්ඵල ගමන් හා වියදම් යෙදීමට හේතුයි. මැයි මාසයට පෙර සුබ කටයුතු ආරම්භය මැනවි. දිනපතා මෛත්‍රී භාවනාව කරන්නේ නම් අපල දුරුවේ.
සුබ අංක – 2, 3, 5 , සුබ පාට – සුදු, රෝස, කහ
සුබ දින – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

අනාගතය සුබ හෝ අසුබ වීමට අප විසින් අද කරන දේ බලපාන්නේය. මේ නිසා අද අදම ධාර්මික ජීවිතයක් ගතකරන්නට අධිෂ්ඨාන කරගන්නේ නම් හෙට සිදුවන අපල ගැන බිය විය යුතු නොවේ.

මක්නිසාද යත් ධර්මය විසින්ම දැහැමියා ආරක්‍ෂා කරන බැවිනි. ඒ බුදු වදනයි.

සුබ නව වසරක් වේ.

ඔබට සහ රටට තීරණාත්මක වසරක්

ජ්‍යොතිර්වේදී
සුනිල් කුමාර ගම්ලත්
කෙළින්වීදිය, කෑගල්ල,
දු. අංකය 0771234313, 0352232084

advertistmentadvertistment
advertistmentadvertistment