ජුදාස්ලා ඕනෑ තරම් සිටිති.

782

ක්‍රිස්තුස් වහන්සේලා සිටියේ එක් අයකු පමණි.

(මහ සිකුරාදාව නිමිත්තෙනි.)

මෙයට අවුරුදු දහස් ගණනකට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හොඳම ගෝලයන් අතුරින් එක් අයකු වූ ජුදාස් විසින් රිදී කාසි තිහක් වැනි සුළු මුදලකට උන් වහන්සේ පාවාදෙන ලදි. එම පාවාදීම සිදුවන්නේ ඊයේ වැනි දවසක ය. එකල ජේසුස් වහන්සේ විසින් දේශනා කෙරුණු ධර්මයට විරුද්ධ වූ කුපාඩි පූජක රැලක් රෝම අධිරාජ්‍යයේ වාසය කළහ. මේ කුපාඩි රැල රෝම අධිරාජ්‍යයාගේ හිතවත්කම සහ ආරක්ෂාව පහසුවෙන් අත්පත් කරගෙන සිටි ගස් ගල් ඇදහූ තිරස්චීන රැලක් වූහ. ක්‍රිස්තුස් වහන්සේ මරාදැමීම මේ පූජකයන්ගේ අභිමතය වුවද ඔහුගේ ස්වරූපය ඔවුන් හරියටම දැන සිටියේ නැත. ඒ නිසා ඔහු හඳුනාගැනීම සඳහා ජුදාස්ට රිදී කාසි තිහ දෙන ලදි. ජුදාස් විසින් පාවාදෙනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ අද වැනි දවසක කුරුසයේ ඇණ ගැසීමට ලක්වූහ. ලෝකයේ බොහෝවිට ඝාතනයට ලක්වූවෝ ඉතා අහිංසක එමෙන්ම ලෝකයට ප්‍රයෝජනයක් ගතහැකි මිනිස්සු ය. එහෙත් වහා ඝාතනය කළ යුතු, වහා විනාශ කළ යුතු ජරා මිනිස්සු ඉතාම නිදැල්ලේ වාසය කරති. අද වැනි මහ සිකුරාදා දවසක අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ එසේ සමාජයෙන් තුරන් කළ යුතු භයානක මිනිසුන් ගැනය.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ඇල්ටෝ ධර්මේ නමැති කුඩු ජාවාරම්කාරයා සහ ලංකාවේ සිටින හෙට්ටිආරච්චි නමැති පොලිස් OIC කෙනකු අතර හටගත් දුරකථන සංවාද කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍යයට ලීක් වී තිබේ. මේ සංවාද අසන අපට හැඟී යන පරිදි හෙට්ටිආරච්චි OIC තැන සහ කුඩු ඇල්ටෝ ධර්මේ යන දෙදෙනාම සාපරාධී මූලාශ්‍ර වෙති. ඇල්ටෝ ධර්මේ සමාජයට පිවිසෙන්නේම සමාජය විනාශ කිරීම පිණිස ය. හෙට්ටිආරච්චි සමාජයට පිවිසෙන්නේ පොලිස් නිල ඇඳුම මුවාවෙන් සමාජය විනාශ කිරීම සඳහාය. ඔහු ඒ සඳහා පාතාල මැරයකු වන ඇල්ටෝ ධර්මේ සමග එක්වී ආයුධ බිස්නස් ඇතුළු බොහෝදේ කරන්නට පටන් ගනී. දුරකථන සංවාදවලින් හෙළිවන පරිදි ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ඇල්ටෝ ධර්මේ විසින් හෙට්ටිආරච්චිට රුපියල් දස ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඇත. එහෙත් පසුව තමාට විරුද්ධව හෙට්ටිආරච්චි විසින් වංගුවක් ගහන්නට යන බව තේරුම්ගත් ඇල්ටෝ ධර්මේ බලවත්සේ කෝපයට පත්ව හෙට්ටිආරච්චිට බැණ වදින්නට පටන්ගනී. හෙට්ටිආරච්චිගේ බිරිඳ ඉතා පහත් ලෙස පාවා දෙමින් ඇල්ටෝ ධර්මේ කරන ප්‍රකාශ මිනිස්කමට කිසිසේත්ම නොගැලපේ. ඇල්ටෝ ධර්මේ ඩුබායි රාජ්‍යයේ සිට මේ රටේ පාතාලයේ මාළිගාවත්තේ චැප්ටර් එක මෙහෙයවන බව පෙනේ. ඔහු ඒ සඳහා යොදාගන්නේ දුරකථනයේ වට්ස්ඇප් යෙදවුම පමණි. හෙට්ටිආරච්චිගේ අනුමැතිය සහ අනුග්‍රහය සහිතව සිදුකෙරෙන විවිධ අපරාධවලට ඇල්ටෝ ධර්මේ ලංකාවේ සිටින ඒජන්තවරුන් හරහා මුදල් ගෙවන බව පෙනේ. මේ නිසා ලංකාවේ පාතාලය කිසිකලෙකත් විනාශ කිරීමට නොහැකි තරම් බලවත් වෙමින් පවතී. සාමාන්‍යයෙන් නූතන ලෝකයේ සිටින සාපරාධී ජාවාරම්කරුවෝ සිය මව් රටේ රඳන්නේ නැත. ලතින් ඇමරිකාවේ සිටින පාතාලකරුවන්ගෙන් වැඩිදෙනා ඇමරිකාවේ සැඟවී සිටිති. රුසියානු පාතාලයේ ලොකුම කොටස සැඟව සිටින්නේ යුක්‍රේන් සහ චෙච්නියාව යන ප්‍රදේශවල ය. ලංකාවේ පාතාලය චෙන්නායි, ඉතාලිය සහ ඩුබායි යන තැන්වල සැඟව සිටිමින් සිය ක්‍රියාන්විතය මෙහෙයවයි. මේ නිසා මේවා විනාශ කිරීම ඉතා දුෂ්කර ය. ඒ විනාශය දුෂ්කර වන තරමටම රට විනාශ කිරීම ලෙහෙසි වෙයි. පිටරටවල සිට අල්ලාගෙන මෙරටට ගෙනෙන ලද පාතාලකරුවන් ඉතා ස්වල්පයක් මේ වන විට අපායට පිටත් කර යවා තිබේ. එහෙත් වැඩි පිරිසක් විවිධ නීතිරීතිවල ආවරණය සහ මිනිස් අයිතිවාසිකම් නමැති බිස්නස් එක යටතේ ඉතා පහසුවෙන් ජීවත් වෙති. හරක් කටා, කුඩු සළිඳු වැනි දාමරිකයන් හිරගෙවල් තුළ ඉතා හොඳ ආරක්ෂාවක් යටතේ ජීවත් වෙති. ඇත්තටම එළිමහනේ ජීවත්වන කිසිදු අපරාධයක් නොකළ අහිංසක මිනිස්සු ඉතාම අනාරක්ෂිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනු ලැබ සිටියදී හරක් කටා සහ කුඩු සලිඳු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ම මිලට ගත්හ. ඇතැම් පොලිස් නිලධාරියෙක් ඒ දෙදෙනාට පැන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කර දුන්හ. එහෙත් සැබෑ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ කැපවීම නිසා මේ අපාරාධකරුවන්ට පැන යෑමට බැරි විය. මේ අපරාධකරුවන් ජීවත්වන තරමට රටේ ජනතාවගේ ජීවිත කෙටි වෙයි. ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන් පිළිබඳ නඩු අසා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම හෝ වෙනත් ක්‍රමයක් යොදා ඔවුන්ගෙන් නිදහස් වීම ඉතා වැදගත් බව අප මතක තබාගත යුතුය. සමාජය තුළ ජුදාස්ලා ඕනෑ තරම් සිටිති. හැබැයි සමාජය තුළ ක්‍රිස්තුස් වහන්සේලා සිටින්නේ එක්කෙනකු පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment